වරින් වර භූ කම්පන… මඩොල්සිම ප්‍රදේශයේ මේ සිදුවන්නේ කුමක් ද?

මහාචාර්ය අතුල සේනාරත්න  පැහැදිලි කරයි....

කීර්ති ප්‍රනාන්දු – 

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩොල්සිම ප්‍රදේශයේ ඇතිව තිබෙන්නේ රිච්ටර් මාපකයේ 1.5 ක අගයක් සහිත භූ කම්පනයක් බවත් ඒ පිළිබඳ අනිතයත බියක් ජනතාව ඇතිකර නොගත යුතු බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න   කියා සිටියේය. ඔහු වැඩිදුරටත් මෙසේ කීය.

“ වික්ටොරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පන හා වලපනේ ප්‍රදේශයේ ඇතිවූ කම්පන අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. මේ සියලුම කම්පන සිදුව තිබෙන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන භූ විද්‍යා විභේද ආශ්‍රිතවයි. භූ විද්‍යා සිතියමක් බලන විට පැහැදිලිව පේනවා ප්‍රධාන ජලාශ තියෙන ප්‍රදේශයේ බරපතල භූ පැලුම් තිබෙනවා. මේවා නිසා විශාල චලන වෙයි කියලා අපි විශ්වාස කළේ නැහැ. “

මඩොල්සිම ගූගල් සිතියම

“මේ ජලාශ ඇති කිරීමට ප්‍රථම හැත්තෑව දශකයේ මුල් කාලයේ මහචාර්ය විතානගේ   මේ පැලුම් හරහා ඉතා සුළු ඉස්සීමක් පෘතුවියේ සිදුවන බව ප්‍රකාශ කළා. මධ්‍යම කඳුකරය නිරන්තරයෙන් වසරකට මිලි මීටර එකක් හෝ දෙකක එසවීමකට ලක්වන බව එතුමා කිව්වා. පොළොව ඉතා සෙමින් එසවෙන බවට එදා මහචාර්ය විතානගේ මහතා කළ ප්‍රකාශය තමයි අද මේ යථාර්ථයක් බවට පත්වෙලා තිබෙන්නේ.“


“පෘතුවි කබොල එසවෙන විට අනිවාර්යයෙන්ම දෙදරා තිබෙන විභේද හරහා තමයි එසවීම සිද්ධ වෙන්නේ. මධ්‍යම කඳුකරයේ භූ විද්‍යා සිතියම බැලුවොත් විභේද රැසක් තිබෙනවා. වික්ටෝරියා විභේදය, රන්දෙණිගල විභේදය හා මහවැලි විභේදය තමයි ප්‍රධාන. ඒ ආශ්‍රිතව තවත් කුඩා විභේද තිබෙනවා. විභේද ආශ්‍රිතව එසවීම සිද්ධ වෙනකොට භූමියේ චලන වගේම කම්පන සිදු වීමට පුළුවන්. පසුගිය මාස කිහිපයේදී මධ්‍යම කඳුකරයේ ඇතිවූ කම්පන සියල්ල සිතියමක ලකුණු කළාම පැහැදිලිව පේනවා මේවා  සිදුව තිබෙන්නේ විභේද ආශ්‍රිතව කියලා.“

“ වික්ටෝරියා ජලාශය පිහිටි ප්‍රදේශය පුරා පැතිර ගිය විශාල හුණුගල් නිධියක් තිබෙනවා. මෙහි සිදුකරන කැණීම් හා මේ කම්පන අතර සම්බන්ධතාවක් ඇත්ද යන්න  පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා. ජලාශ හා විභේද ආශ්‍රිතව තමයි විශාල හුණුගල් තට්ටු තිබෙන්නේ. මේවා තුළට ජලය ගමන් කළාම හුණුගල් දියවීමට ලක්වෙනවා. මේ දියවීම නිසා ලොකු කුහර (Cavity) ඇති වෙනවා.“

“පොළොව ඇතුළේ උමං ගංඟාවල් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ කියන්නේ මේ කුහර ගැනයි. ඒවා ඒ තරමට විශාලයි. පොළොවේ සිට අඩි 100 ක් 200 ක් ඇතුළේ මේවා පිහිටලා තියෙන්නේ. හිටි හැටියේ මේ කුහර කඩා වැටෙන්න පුළුවන්. එතකොට විශාල ශබ්දයක් සමඟ පොළොව සෙලවීමක් වෙන්න හැකියාව තිබෙනවා. “

“මේ ඇතිවෙලා තියෙන කම්පන රිච්ටර් මාපකයේ 2.0 අගට අඩු ඒවා. මේවා බොහොම පොඩි කම්පන. නමුත් මේ මාපක අගය සැලකීමේදී 2 ට වඩා 3 දස දහස් ගුණයක් විශාලයි. තුනට වඩා හතර දස දහස් ගුණයක් විශාලයි. ඒ නිසා කම්පනයේ ස්වභාවය තීරණය කරන්නේ මාපකයේ අගයට වඩා සිදුවන විනාශය අනුවයි. මධ්‍යම කඳුකරයේ මේ සිදුවන ක්‍රියාවලිය සැලකීමේදී භූ කම්පන වලට අවශ්‍යය සියලු සාධක එකතු වී තිබෙන බවක් පෙනෙන්න තිබෙනවා. විභේද තිබීම, හුණුගල් නිධි පැතිර තිබීම, ජලාශ ඉදිවීම, හුණුගල් කැණීමට වෙඩි දැමීම ඒකට උදාහරණ කිහිපයක්. මේ නිසා භූ කම්පන ඇතිවීම ඉදිරියටත් සිදුවේවි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම භූකම්පන සිදුවූ අවස්ථාවල ලෝකයේ වෙනත් කිසිදු ප්‍රදේශයක ඒ මොහොතේ භූ කම්පනයක් ඇතිව නොමැති බවත් මේ නිසා මෙම කම්පන ප්‍රදේශය ආශ්‍රිතවම සිදුවන්නක් බව නිගමනය කළ හැකි බවත් මහචාර්යවරයා ප්‍රකාශ කළේය.

 

Exit mobile version