මනම්පිටිය නිමල් ජයරත්න –
කෝරලේපත්තු වාලච්චෙන ප්‍රදේශිය සභාව, හා කෝරලේපත්තු බටහිර ප්‍රාදේශිය සභාව මගින් දිගු කලෙක සිට ප්‍රදේශයේ එක් රැස් කරන කැලි කසල සහ ඝණ අප ද්‍රව්‍ය කෝරලේපත්තු උතුර වාකරේ ප්‍රදේශිය ලේකම් කාර්යාලයට අයත් මීයන්කුලම් ප්‍රදේශයේ කෝරලේපත්තු රක්ෂිතයට මුදා හැරීමෙන් ඒ අවට රක්ෂිතවල සිටින වන අලින් ඇතුළු වන සතුන්ට මෙන්ම රක්ෂිතයට දැඩි තර්ජනයක් එල්ලවෙමින් තිබේ.
අක්කර දහයක පමණ රක්ෂිතයක මෙම කුණු බැහැර කරන අතර, මජිමානගර් සුඩුපත්තිචේන ප්‍රදේශයේ අදාළ ප්‍රාදේශීය සභාවන් සඳහා කුණු බැහැර කිරීමට භූමියක් වෙන් කර තිබුණද, එම භූමියට කුණු බැහැර නොකර ඔවුන්ගේ පහසුවට මීයන්කුලම ප්‍රදේශයේ මෙම රක්ෂිතයට කුණු බැහැර කරන බවද අනාවරණය වී ඇත.
මේ කැලි කසල සඳහා වන අලි විශාල ප්‍රමාණයක් හුරු වී සිටින අතර ඇතැම් අවස්ථාවල කසල රැගෙන එන ට්‍රැක්ටර් පෙරළා දමා එම කසළ ආහාරයට ගැනීමට වන අලින් පෙළඹී ඇති තත්ත්වයක් තුළ මෙම කසල බැහැර කිරීමට එන සේවකයින්ගේ ජීවිත ද අවධානමකට ලක් වී තිබේ.

මෙම ස්ථානයට දිගින් දිගටම කුණු බැහැර කිරීමට කටයුතු කළහොත් මේ වනවිට මතුවෙමින් ඇති ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නවලට අමතරව ප්‍රදේශයේ දැනටත් පවතින අලි මිනිස් ගැටුම අතිශය උග්‍ර වනු ඇති බවත්, කිලෝ මීටර් පහකට පමණ නුදුරින් තිබෙන වාලච්චේන නගරයට වන අලි කඩා වැදීමේ අවදානමක් පවතින බවත් ප්‍රදේශවාසීහු සඳහන් කරති.
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ, වාලචේන ප්‍රධාන මාර්ගයට නුදුරු මීයන්කුලම ප්‍රදේශයේ බැහැර කරන කූනු නිසා එම මාර්ගයේ ගමන් කරන,වාහන රියදුරන් සහ ජනතාව සෞඛ්‍ය තර්ජනයට අමතරව වන අලි තර්ජනයකටත් මුහුණ දී සිටින බව ඔවුහු පෙන්වා දෙති.
කල්කුඩා මැතිවරණ කොට්ඨාසයට අයත් කෝරලේ පත්තු බටහිර ප්‍රාදේශිය සභාව සහ කෝරලේපත්තු වාලච්චේන ප්‍රාදේශිය සභාව මගින් දෛනිකව රැස් කරන කුණු කසල රැගෙනවිත් මෙම ප්‍රදේශයට බැහැර වහාම නතර කර ඒ වෙනුවට කැලි කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසටවන ප්‍රබල මහජන ඉල්ලීමක් මේවන විට මතුවෙමින් ඇත.

මේ සම්බන්ධව අප කෝරලේපත්තු වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති සුන්දරලිංගම් සුදාහරන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ, සභාවට වෙන්කර දුන් අක්කර දහයක භූමියට පමණක් කැලි කැලි කසල බැහැර කරන බවත්, කෝරලේපත්තු වාලච්චේන බටහිර ප්‍රාදේශිය සභාවයෙන්ද කුණු බැහැර කිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත්ය
අනතුරුව අප කෝරලේපත්තු බටහිර ප්‍රාදේශිය සභාවේ සභාපති, මීරා මොහොමඩ් පලාල්දින්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන්ට කැලිකසල බැහැර කිරීමට නිශ්චිත භූමියක් නොමැති බවත්, කැලිකසල බැහැර කරන භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වෙන් කරදුන් භූමියක් බවත්ය. 29 වෙනිදා පැවැත්වෙන මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නිශ්චිත වශයෙන් කුණු බැහැර කිරීමට ස්ථානයක් ලබා ගැනීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවේය.








