ලෝක කුසලානය පාවා දීම ගැන මගේ ප්‍රකාශය තවම වලංගුයි…

ප්‍රමාණවත් තොරතුරු නැතැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව පරීක්ෂණයක් කරන්න....මහින්දානන්ද ජනාධිපතිගෙන් ඉල්ලයි...

2011 ලෝක කුසලානය පාවා දීමෙ සිද්ධිය සම්බන්ධව තමන් කළ ප්‍රකාශය තවමත් වලංගු බව  හිටපු ක්‍රීඩා ඇමති මහින්දානනද අලුත්ගමගේ පවසයි.

විමර්ශන කටයුතුවලට ප්‍රමාණවත් තොරතුරු නැතැයි කියමින් නැවැත්වූ බව කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද ඔහු කියා සිටියි.

හිටපු ක්‍රීඩා ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිකුරාදා (03) පස්වරුවේ නාවලපිටියේ  පැවති විශේස මාධ්‍ය සාකච්ඡාවකදී ය.


තමන් මේ තරග පාවාදීම සම්බන්ධව පොලිස් විමර්ශන ඒකකයට කළ ප්‍රකාශයේ දි තමන් සතු සියලු තොරතුරු ඔවුන්ට ලබා දුන් බවත්, මේ පාවාදීමට කිසිදු ක්‍රීඩකයෙක් සම්බන්ධ නැති බව පැහැදිලිව කියා තිබෙද්දී කුමාර් සංගක්කාර, මහෙල ජයවර්ධන, එම විමර්ශන ඒකකයට ගෙන්වනු ලැබුවේ කුමණ පදනමකින් දැයි තමන් නොදන්නා බවත් ඔහු එහිදී කීවේය.

පොලිස් විමර්ශන ඒකකය මේ  පරීක්ෂණය අරඹා ඇත්තේ වර්ෂ 2019 දී සම්මත වූ පනතකින් බව කී හිටපු ක්‍රීඩා ඇමතිරයා එම පනතින් වර්ෂ 2011 සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට නෛතික ප්‍රතිපාදන නොමැති වීම වැරදියට ආරම්භ කළ පරීක්ෂණයේ ප්‍රශ්නයක් විනා තමන් ලබා දුන් තොරතුරුවල ගැටලුවක් නොවන බව පෙන්වා දුන්නේය.

තේරීම් කමිටුවේ සභාපති ඇතුළු ක්‍රිකට් පරිපාලන ලේකම්, සභාපති හා විධායක ලේකම් වැනි පුද්ගලයන්ගෙන් කටඋත්තර ගැනීමට තමන් යෝජනා කළත් තේරීම් කමිටුවේ සභාපතිගෙන් පමණක් ප්‍රකාශයක් ලබාගෙන පරීක්ෂණය වසා දැමීම විශාල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් හිටපු ඇමතිවරයා මෙම පරීක්ෂණය වසා දැමීම සඳහා සමහර පිරිස් විශාල වශයෙන් මුදල් වියදම් කරන බවත් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



මේ පරීක්ෂණය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බවට කුමාර් සංගක්කාර කියූ කතාව තමන් පිළිගන්නා අතර එය මුලින්ම තමන් ප්‍රකාශ කළ බවත් හිටපු ඇමතිවරයා පැවසීය.

Exit mobile version