ලේක්හවුස් මාධ්‍යවේදියාගේ සේවය නොදන්වා අත්හිටුවීම ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇමැති ඩලස්ගෙන් අසයි

ලේක් හවුස් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය කළමනාකරු මංජුල සමරසේකරගේ සේවය නොදන්වා අත්හිටුවීම පිළිබඳ දන්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් යවා තිබේ.

එම ලිපිය පහත දැක්වේ.

20201/12/27


අමාත්‍ය ඩලස් අලහපෙරුම,
ජනමාධ්‍ය අමාත්‍යාංශය,
163, ඇසි දිසි මැදුර,
කිරුලපන මාවත,
පොල්හේන්ගොඩ, කොළඹ 5.

අමාත්‍යතුමනි,

ලේක් හවුස් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය කළමනාකරු මංජුල සමරසේකරගේ සේවය අත්හිටුවීම

රජයට අයත් ලේක් හවුස් පුවත්පත් ආයතනයේ ඩිජිටල් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි මංජුල සමරසේකර මහතාගේ සේවය 2021/11/25 දිනැති අංක රහිත ලිපියක් මගින් අත්හිටුවා ඇති බව අප දැනුවත් කර ඇත. මංජුල සමරසේකර මහතා පවසන පරිදි මාසයක් ගත වී ඇති නමුත් ඔහුගේ වැඩ තහනමට අදාළ හේතු දක්වා නැත. ලේක් හවුස් ආයතනයේ මානව සම්පත ප්‍රධානී විසින් ඔහු වෙත එවන ලද වින්දිත මංජුල සමරසේකර මගින් අපට ද පිටපතක් ලැබුණු ලිපියේද මෙකී සේවය අත්හිටුවීමට හේතු දක්වා නැත.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ මංජුල සමරසේකර මහතා ඉමහත් චිත්ත පීඩාවකට පත්ව සිටින අතර රැකියාව අහිමිවීමෙන් මාධ්‍යවේදියෙකු අනාරක්ෂිත ආර්ථික තත්ත්වයකට ඇද වැටෙන බව මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර අත්දැකීම් ඇති ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැත.

ජනමාධ්‍ය ඇමතිවරයා යනු මාධ්‍යවේදීන්ගේ යහපත, වෘත්තීය අයිතිවාසිකම් සහ වෘත්තීය සුරක්ෂිතතාව පිළිබඳ වගකීම දරන්නා ය. එහෙත් ඔබ භාරයේ පවතින මාධ්‍ය ආයතනයක අවම සේවක අයිතීන් හෝ නොසලකා කටයුතු සිදු වෙමින් පැවතීම කණගාටුදායක තත්වයකි. මෙම රජය මාධ්‍යවේදීන්ට රක්ෂණාවරණ ලබා දීම, ඇසි දිසි මාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන, හා වරලත් මාධ්‍යවේදීන් ආයතනයක් පිහිටුවන්නට ගන්නා උත්සාහයන් අප අගය කරන අතර මෙවැනි ක්‍රියා සිදු වීම හෙළා දැකිය යුතු වැරදි ලෙස පෙන්වා දිය යුතුය.

එබැවින් මේ පිළිබඳව වහා මැදිහත්ව කරුණු සොයා බලා අපගේ සාමාජිකයෙකුද වන මාධ්‍යවේදී මංජුල සමරසේකර මහතාට යුක්තිය ඉටු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ලසන්ත ද සිල්වා – කැඳවුම්කරු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හනා ඊබ්‍රහිම් – ලේකම්

Exit mobile version