ලිට්රෝ වංචනික සිලින්ඩරය තවමත් වෙළෙඳපොළේ – නියම සිලින්ඩරය සපයන්නේ අඩුවෙන්

gas

ලිට්රෝ ගෑස් සමාගම විසින් වෙළෙඳපොළට හඳුන්වා දෙන ලද අඩු බර ප්‍රිමියම් සිලින්ඩරය වංචනික බව වෙළෙඳ අමාත්‍යවරයාද පිළිගෙන තිබුණද තවමත් ලිට්රෝ සමාගම කොළඹින් පිට පළාත්වලට එම සිලින්ඩරයම බහුල වශයෙන් සපයන තත්ත්වයක් පවතින බව ලංකාසර කළ නිරීක්ෂණයකදී පැහැදිළි විය.

මහනුවර ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිත ආයතන සහ උප අලෙවි නියෝජිතයන් වෙත සමාගම තම තොග බෙදාහරින්න් හරහා මෙසේ සපයා තිබුණේ ප්‍රිමියම් ගෑස් සිලින්ඩර වන අතර එම සිලින්ඩර 7කට නියම බර සහිත කිලෝ ග්‍රැම් 12.5 සිලින්ඩර 3ක් පමණ සපයා ඇති බව ස්ථාන කිහිපයකදීම නිරීක්ෂණය විය.

මේ තත්ත්වය නිසා ගෑස් ලබා ගැනීමට පැමිණි ඇතැම් පාරිභෝගිකයන් එම ගෑස් මිලදී නොගෙන වෙනත් නියෝජිතයකු වෙතට යන්නට පිටව ගිය අතර වික්ලපයක් ගැන සෙවීමට අපහසු බහුතරයක් අකැමැත්තෙන් වුවද මෙම අඩු බර වංචනික සිලින්ඩරය මිලදී ගෙන ගියහ.


මෙම වංචනික ගෑස් සිලින්ඩරයේ එල්.පී ගෑස් ලීටර 18ක් ඇති බව සඳහන් වන අතර එහි පවතින ගෑස් බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 9.7කි. සිලින්ඩරය මිල රුපියල් 100කින් සාමාන්‍ය කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයකට වඩා අඩු වුවද එහි පවතින ගෑස් ප්‍රමාණයට සාපෙක්ෂව ගෑස් කිලෝවකට වැඩි මුදලක් ගෙවිමට පාරිභෝගිකයාට සිදුවේ. පාරිභෝගික අධිකාරියේ නිසි අවසරය නොගෙන ඉදිරිපත් කළ මෙම සිලින්ඩරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි විශාල කතා බහක් ඇති විය.

එහිදි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම ගෑස් අලෙවිය වංචනික එකක් බවත් එය රජයට අයත් ලිට්රෝ සමාගම විසින් සිදුකරන ලද්දක් බව පිළිගත් අතර කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයේ වෙළෙඳපොලේ පැවතීම අනිවාර්ය බව ඔහු අවධාරණය කළේය.

එසේ වුවද මෙම සිලින්ඩර අඩුවෙන් වෙළෙඳපළට සැපයීම සම්බන්ධයෙන් චෝදනාව ලිට්රෝ සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා ප්‍රතික්ෂේප කළේය. ඔහු ප්‍රකාශ කළේ මේ වනවිට ලාෆ් සමාගම දැනට පවතින මිල අර්බුද හේතුවෙන් ප්‍රමාණවත් තරම් ගෑස් වෙළෙඳපොළට මුදා නොහරින බැවින් මේ වනවිට වෙළෙඳපොලේ ලිට්රෝ සඳහා ඉල්ලුම වැඩි වි ඇති බවය.

දැනටමත් වෙළෙඳපොළේ සියයට 60ත් 65ත් අතර වෙළෙඳපොළ කොටසක් පවතින ලිට්රෝ සමාගමට ලාෆ් හිගය නිසා තවත් වර්ධනය වි ඇති බවත් වෙළෙඳපොළට ඉදිරිපත් කරන කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරය ඉක්මනින් අවසන් වන තත්ත්වයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙම වංචනික බව කියන සිලින්ඩරය ඉදිරියේදීද වෙළෙඳපොලට ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළේය. දැනට මූලික ව ලිට්රෝ සමාගම අපේක්ෂා කරන්නේ ගෑස් හිගයකින් තොරව සැපයීම බවත් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරය වෙළෙඳපොළේ නැතිනම් ලිට්රෝ සමාගමේ 1977 දුරකථනය අංකයට අදාල ස්ථානය සහ වෙලාව ද සමඟ දන්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

Exit mobile version