ලක්ෂ 75ක වංගුවක්…  වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නට එරෙහිව  සීඅයිඩියෙන් පරීක්ෂණයක්…

Will the Bribery Commission handle a corruption case against him?

නිමන්ති රණසිංහ –

බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ බාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කරමින් සිටිය දී අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 75ක මුදලක් සැකකරුවන්ට මුදා හැරීමෙන් කරන ලද දූෂණයක් සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) අධිකරණයට කරුණු වාර්තා කළේය.  

මෙය “දූෂණ“ සම්බන්ධයෙන් වන වරදක් බැවින් අදාළ විමර්ශනය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට බාරදීම සඳහා එම කොමිසමට අධිකරණයේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවේය.

එම ඉල්ලීම අනුව  මෙම සිද්ධියට  අදාල විමර්ශනය බාරදීම සඳහා ඔක්තෝබර් මස 03 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන් ඉලංගසිංහ විසින් අල්ලස් කොමිසමට ඊයේ නොතීසි නිකුත් කළේය.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් විසින් මේ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් කරන ලෙස පසුගිය ජනවාරි 28 වැනිදා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.


පෑලියගොඩ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන්, ඇතුළු නිලධාරීන්  පිරිසක් පසුගිය පෙබරවාරි 21 වැනිදා සිදුකරන ලද වැටලීමක දී ඩුබායි රටට උණ්ඩියල් ක්‍රමයට මුදල් යොමු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනක් වූ විමර්ශනයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ රුපියල් ලක්ෂ 75කට අධික මුදලක්   සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

පසුව මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකක 01 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර විසින් විමර්ශනය කරන ලදුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණුවාර්තා කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව බාරයට ගන්නා ලද නඩු භාණ්ඩ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව  එවකට හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ( වර්තමාන වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති) රොහාන් ප්‍රේමරත්න විසින් තර්ජනාත්මකව කර ඇති නියෝග මත විමර්ශන නිලධාරීන් විමර්ශන අවසන් කර නොමැති බවත්, එහි නඩු භාණ්ඩ වශයෙන් රුපියල් හැත්තෑ පන් ලක්ෂ හතලිස් තුන් දහස්, එකසිය දහක මුදලක් සම්බන්ධයෙන් අධිකරණයට අසත්‍ය තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් නඩු භාණ්ඩ එම සැකකරුවන්ට මුදා හැරීමට කටයුතු කර ඇතැයි අනාවරණය වන බව ත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ වශයෙන් රාජකාරි කළ කාලය තුළ සිදුකරන ලද වංචා හා දූෂණ ක්‍රියාකාරකම් සම්බන්දයෙන් සිදුකළ මෙම විමර්ශනයේ දි හිටපු අධ්‍යක්ෂවරයා නඩුවට අදාළ නිලධාරීන්ට අයුතු බලපෑම් කරමින් අධිකරණයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සඳහා  නිලධාරීන්ට තර්ජනාත්මකව පොළඹවා ඇති බවත් ඒ මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ   අංක 05 හි නඩු අංක  47361/05/21 දරන නඩුවේ නඩු භාණ්ඩයක්ව පැවති රුපිලයල්  7,543,110/= මුදලක් සැකකරුවන්ට මුදා හැරීමට කටයුතු කරමින් දූෂිත ක්‍රියාවක යෙදී ඇති බවත් අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම අපරාධය  1954 අංක 11 දරන අල්ලස් පනතේ  70 වගන්තිය යටතේ  මෙන්ම 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ  55(1) වගන්තිය යටතත් දඬුවම් ලැබිය හැකි වරදක් බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –  

Exit mobile version