කීර්ති ප්‍රනාන්දු –
ලංකා විදුලිබල අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස උදේ පත්වීම් ලැබ එක් දිනයක් සඳහා පමණක් රාජකාරියේ කටයුතු ආවරණය කරමින් තනතුරට අදාල මිලියන ගණනක ප්රතිලාභ වැටුපට එක් කරගෙන එදිනම සවස විශ්‍රාම ගිය පුද්ගලයෙක් පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයෙන් වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරමින් සිටි මෙම නිලධාරියා ඊයේ (15) උදෑසන අතිරේක බෙදාහැරීම් ඛාණ්ඩ අංක 2 හි අතිරේක සාමාන්‍යාධිකාරී තනතුරට පත් කිරීමෙන් පසු ඊයේ හවසම විශ්‍රාම ගොස් ඇත.
වයසකම පුද්ගලයාට අතිරේක සාමාන්‍යාධිකාරී තනතුරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරු ලබා දෙමින් විදුලිබල මණ්ඩලය මේ ආකාරයේ පත්වීම් සිදු කරන්නේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙක් සඳහා අඩුම වසර තුනක සේවයක් කළ හැකි වීම සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් සඳහා වසර දෙකක් සේවය කළ හැකිවීම මූලික සුදුසුකමක් ලෙස දක්වා 2022 සැප්තැම්බර් මස 20 දා ලබා ගත් අධ්යක්ෂ මණ්ඩල තීරණයක් පවතිද්දී බව මේ සම්බන්ධව කළ විමසුමක දි ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ .ජී .යූ නිශාන්ත ලංකාසරට පැවසුවේය.
නිලධාරීන් තෘප්ත කිරීම සඳහා විදුලිබල මණ්ඩලය දරන මෙම පිරිවැය අවසාන වශයෙන් එකතු වෙන්නේ පුරවැසියන්ගේ විදුලි බිලට බවත් මෙම තත්ත්වය වහාම නතර කරන බවට ඇමතිවරයා කටමැත දොඩවන නමුත් ඒ කිසිම දෙයක් සිදුවී නැති බවත් සභාපතිවරයා කීවේය.
“ පුරසාරම් කියන්නේ නැතිව විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙ කාර්ය සාධනයක් කරලා සුදුසු අයට මෙම තනතුරුවලට පත් විමේ අවස්ථාව දෙන්න කියලා අපි ඇමතිවරයාට යළිත් කියනවා. . මේ විදිහට වයසකම කෙනාට දෙන උපන් දින තෑග්ගක් විදිහට අතිරේක සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරු පත් කරන්න ගියොත් ත් විදුලිබල මණ්ඩලය තවත් අගාධයට වැටිලා මිනිස්සුන්ටත් කරුවලේ ඉන්න වේවි. “
ලංකා විදුලිබල මන්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ .ජී .යූ නිශාන්ත කීවේය.