රෝයල් තෝමියන් මැච් එකේ දි ජනපති ගත්ත ෆන් එක… “බිව්වා නේද වදකහ සුදිය”

145 වැනි රාජකීය ශාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුම ජය පරජායකින් තොරව එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී නිමාවට පත් වූයේය.

දින තුන පුරාම තරගය ඇදී ගියේ වඩාත් ජවසම්පන්න සටන්කාමීත්වයකින් තොරවය. දෙපිලම තරය ජය පරාජයකින් තොරව නිමා කිරීම සඳහා වු සම්මුතියකින් ක්‍රිඩා කළේදැයි සිතුනේය.

අද තරගය ආරම්භ කරන විට  රාජකීය කණ්ඩායම 234/7 කි. ලකුණු 86ක් පසුපසිනි. ඊයේ දිනයේ ලකුණු 68ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නෙත්වින් ධර්මරත්න ලකුණු 41  සහ බුලන් වීරතුංග ලකුණු 20ක් ලබා ගත්තේය.  දිනයේ පෙරවරුවේ දී රාජකීය කණ්ඩායම ඉනිම සිය අත්හිටුවා    ශාන්ත තෝමස් කණ්ඩායමට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට ආරාධනා කරන්නේ  දිවා ආහාරයට පෙරය. ඒ වනවිට රාජකීය කණ්ඩායම ලකුණු 278ක් කඩුළු 09කට රැස් කරගෙන තබිණි.    ශාන්ත තෝමස් පිල සිටින්නේ  ලකුණු 19ක් ඉදිරියෙනි.

ඉනිම ආරම්භයේදීම සේනාධි බුලන්කුලම ලකුණු නොලබා දැවී ගියේය.  එතැන් සිට තරගයේ යැවූ ඕවර 86 තුළම  ක්‍රීඩා කළේ ශාන්ත තෝමස් කණ්ඩායමේ පිතිකරුවන්ය.  දිනයේ අවසන් කාර්තුවේ දී හෝ රාජකීය කණ්ඩායම පිතිකරණයට කැඳවා අභියෝගයක් ලබා දී මහා තරගයක තිබෙන උණුසුම මතුකරන්නට  ශාන්ත තෝමස් කණ්ඩායම උත්සාහ කළේ නැත.  තනි තනිව තමුන්ගේ වාර්තා වැඩි  කිරීමේ අභිලාෂය පමණක් පෙනුණි.


ආරම්භක පිතිකරු සදෙව් සොයිසා  ලකුණු 33ක් ලැබුවේය. දිනෙත් ගුණවර්ධන ලකුණු 74ක්, මහිත් පෙරේරා ලකුණු 63ක්, තිෂෙන් ඇහැලියගොඩ නොදැවී ලකුණු 31ක්, නේතන් කල්දේරා නොදැවී ලකුණු 20ක් ලැබුවේය.  තරගය අවසන් වන අවස්ථාව වනවිට ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 229ක් රැස් කළේය. කඩුළු 04ක් දැවී ගොස් තිබිණි.

පන්දු යැවීමේ දී රාජකීය කණඩායමේ බුලන් වීරතුංග ලකුණු 10කට කඩුල්ලක්, සිනෙත් ජයවර්ධන ලකුණු 57කට කඩුල්ලක්, රමිරු  පෙරේරා ලකුණු 87කට කඩුළු දෙකක් ලැබුවේය.

ඊයේ දිනය.

ඊයේ දිනයේ මුල් කාර්තුවේ දී තරගයක තිබිය යුතු ජීව ගුණය ප්‍රකට වූයේය. ලකුණු 297ක ඉලක්කයක් හඹා යෑටම පැමිණි රාජකීය කඩුළු 02ක් එකවර බිඳ වැටිනි. ලකුණු පුවරුවේ තිබුණේ එක් ලකුණකි. ආරම්භක පිතිකරු ඉසුල ගීගනගේ දැවී යන්නේ ලකුණු නොලබාය. අනතුරුව පිටියට පැමිණෙන රෙහාන් පීරීස් එක් ලකුණකට දවී ගියේය.  දැඩි පීඩනයක් කණ්ඩායම මත පතිත විය. ඒ අවස්ථාවේ දී අන්තර්ජාතික අත්දැකීම් සහිත රාජකීය නායක සිනෙත් ජයවර්ධන වගකීම සිය කරට ගෙන නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළේය.

සිනෙත් ජයවර්ධන පන්දු 172 කදී ලකුණු 92 ක් ලබා ගත්තේය.  සිනෙත් ගේ ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත් වූ අතර ඔහු සහ ඔවින අඹන්පොල දෙදෙනා තුන්වෙනි කඩුල්ල සඳහා ලකුණු 125 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූහ.

පන්දු 295 ක් පුරා ඇදී ගිය එම තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳී ගියේ ඔවින අඹන්පොල ලකුණු 36ක් ලබා සිටියදී අශේන් පෙරේරා    ගේ පන්දුවක් හමුවේ දැවී යාමෙනි.

අඹන්පොල ගේ ඉනිම ට හතරේ පහර 5ක් ඇතුළත් වූ අතර  ඔහු පන්දු 160 ක් පුරා කඩුල්ලේ රැඳී සිටියේය.

තෙවැනි කඩුල්ල ලකුණු 127 දී දැවී  යාමෙන් අනතුරුව  රාජකීය කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ද ලකුණු 130 දී බිඳ වැටුණි.  තම අන්තය ආරක්ෂා කරගෙන කඩුල්ලේ රැඳී සිටි සිනෙත්  ගේ ඉනිමද 6 වෙනි කඩුල්ල ලෙස ලකුණු 164 දී නිමා වීමත් සමග නැවතත් ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ තරඟයට අවතීර්ණ වූහ.

එහෙත් රාජකීය කණ්ඩායමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන්  නෙත්වින් ධර්මරත්න සහ දිනුර සේනාරත්න අතර ගොඩනැගුණු ලකුණු 68ක සම්බන්ධතාවය ශාන්ත තෝමස් කණඩායමේ  බලාපොරොත්තු සුන් කළේය.

ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන්  පන්දු යැවීමේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ අශේන් පෙරේරා කඩුලු 4 ක් දවා ගත් අතර ඩේරියන් ඩියෙගෝ කඩුලු දෙකක් දවා ගත් හ.

ජනපති සිංදු කියයි… ජුලී චං නටයි…

කෙසේ වෙතත් තරගයේ දින තුන ගෙවී යන්නේ විසඳුමක් නැතිවය. ඒ තරගය බැලීමට අද (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ආවේය.

දිවා ආහාරයට තරගය නතරකල පසු ක්‍රීඩාංගණයටත් බැස්සේය.    ක්‍රිඩාංගණය වෙත පැමිණ සිටි සිසුන් සමඟ ද සුහද කථා බහක නිරත වුයේය. තරගය බැලීමට පැමිණ සිටි ආදි ශිෂ්‍යයන් සමග ද කතා කළේය. සිංදුත් කිව්වේය.

ජනාධිපතිතුමා තොරගත්තේ බිව්වා නේද වදකහ සුදිය සිංදුවය.

 

මැච් එක බලන්න ඇමරිකානු තානාපති ජුලි චං ද ආවාය. ඇය  හර්ෂ ද සිල්වා සමග කදිම නැටුමක් ද නැටුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජකීය විද්‍යාලයේ සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුන් වන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, මහින්දානන්ද අළුත්ගමගේත්,     ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකත්,  දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, නීතිපති සංජය රාජරත්නම්   ඇතුළු පිරිසකුත් තරගය බලන්නට එක් විය.

Exit mobile version