ශ්‍රියානි විජේසිංහ –
-
සියල්ල ප්‍රති අපනයනය කරන්න සීල් තියලා තියෙන්නේ. මිනිස් පරිභෝජනයට නුසුදුසු කිසිම ආහාරයක් වරායෙන් එළියට එන්න දෙන්නේ නෑ… කුණු බඩු ගෙන්නලා අතින් පාඩු කරගන්න එපා… ආනයන කරුවන්ට දැනුම් දීමක්…
ගුල්ලන් සහිතව ආනයනය කල සහල් තොග අතර කල් ඉකුත් වූ නමුත් දිනයන් වෙනස් කරමින් ස්ටිකර් ඇලවූ සහල් තොගද තිබූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය බාර නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් පැවසුවේය.
මෙම සහල් තොග සියල්ල මේ වන විට ප්‍රති අපනයනය සඳහා සීල් තබා වෙන්කර ඇති බැවින් එ්වා නැවත වෙළඳපලට ඒමට කිසිසේත්ම ඉඩකඩ නොමැති බවද හෙතෙම කීවේය.
කෙසේ නමුත් මේ වන විට සහල් තොග විශාල වශයෙන් පැමිණෙන බැවින් ඒවා පරික්ෂා කිරීමට දෛනිකව ආහාර හා සෞඛ්‍ය පරික්ෂකවරුන් හයදෙනෙකුට අමතරව තවත් හතර දෙනෙකුද වශයෙන් දසදෙනෙකු යොදවා ඇතැයිද වෛද්‍ය ජයලාල් පැවසුවේය.
සහල් තොග පරික්ෂා කිරීමේදී පැය භාගයක් ඇතුළත අදාල සහල් කන්ටේනරය පරික්ෂා කර අවසන් කරන බවත් පරික්ෂා කිරීම් මගින් සහල් වෙළඳපලට නිකුත් කිරිම ප්‍රමාදයන් සිදු වෙන බවට ඇතැම් පාර්ශව නගන චෝදනාවන්ගේ කිසිදු සත්‍යයක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
මිනිස් පරිභෝජනය සඳහා ගෙන්වන සියලුම ආහාරයන් පරික්ෂාවට ලක්කර වෙළඳපලට නිකුත් කිරීමට සිදුකරන බැවින් වෙළඳපළේ තිබෙන ආහාර ද්‍රව්‍ය පිලිබදව අනියත බියක් ඇති කර නොගන්නැයි හෙතෙම ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්ද කළේය.







