අද (21) දවසේ දෙවන බිහිසුනු බස් රථ අනතුර වාර්තා වී තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගීන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ. මෙම අනතුර සිදුවී ඇත්තේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේදී ය.
තුවාලකරුවන් කඩුගන්නාව, හේනාවල රෝහලට ඇතුළත් කර ඇත. ඉන් බරපතළ තත්ත්වයේ පසුවු දෙදෙනෙකු මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.
අනතුරට ලක් වූ බස් රථය කොළඹ සිට නුවර බලා ධාවනය වෙමින් තබි ඇත. කඩුගන්නාව, ඩෝසන් කුළුන ආසන්නයේදී බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුවී තිබෙන බව මූලික විමර්ශනවලින් අනාවරණය විනැයි පොලිසිය පවසයි.
අද (21) පෙරවරුවේ හැටන් ප්‍රදේශයේ දී ද පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් බස් රියේ ගමන් කළ මගීන් 46 දෙනොම තුවාල ලැබුවේය.







