රැකියාව අහිමි කළහොත් ලැබෙන උපරිම වන්දිය දෙගුණ කරයි

පෙර මිලියන 1.25යි දැන් මිලියන 2.5යි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රැකියාවලින් ඉවත් කිරීමකට ලක් කිරීමේදී සේවකයන් වෙත සේව්‍යයන් විසින් ගෙවිය යුතු වන්දි මුදල දෙගුණයකින් වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්ව ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් බී.ඒ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි. ඒ අනුව 1971 අංක 45 දරණ කම්කරුවන්ගේ රක්ෂාව අහිමි කිරීමේ විශේෂ විධි විධාන පනතට අනුව මෙතක් පැවැති වන්දි ගෙවීමේ උපරිම සීමාව රුපියල් මිලියන 1.25 සිට මිලියන 2.5 දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධන සහිත ගැසට් නිවේදනය පසුගිය 25 වැනිදා නිකුත් කරන ලද බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලංකාසර ට පැවසීය.
පසුගිය කොරෝනා වසංගත කාලය තුළ සැලකිය යුතු පිරිසක් නිසි ලෙස වන්දි ගෙවීමකින් තොරව සේවය අවසන් කර ඇති වවට වාර්තා වන අතර මෙම තත්ත්වය පිළිබඳව සැලකීමෙන් අනතුරුව සහ කාලයක් තිස්සේ වෘත්තීය සංගම්වලින් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද ඉල්ලීම් අනුව මෙම සංශෝධන කර ඇති බව සඳහන් වේ.
ඉහත පනතට අනුව සේවකයන්ට වන්දි ගෙවීම සඳහා සූත්‍රයක් පවතින අතර එහිදී සේවකයන් අදාළ ආයතනය තුළ සේවයේ යෙදී සිටි කාලය මත පදනම් ව මෙම වන්දි ගෙවීය යුතු සූත්‍රය සකස් කොට තිබේ. අවුරුදු 01ත් 05ත් අතර 06ත් 14ත් අතර 15ත් 19ත් අතර 20ත් 24ත් සහ 25ත් 34ත් අකර මෙසේ කාණ්ඩ ගත කර තිබෙන අතර මෙතෙක් මේ පනතට අනුව නීත්‍යනුකූල වන්දි හිමිකම පැවතියේ රුපියල් මිලියන 1.2කට යටත්වය. මේ වනවිට එම සීමාව ඉහළ දැමීම මඟින් සේවකයකුට තම රැකියාව අහිමි කිරීම හෙතුවෙන් තම සේවා කාලය සහ මූලික වැටුපට අනුව රුපියල් ලක්ෂ 25ක නොවැඩි වන්දියක් ලැබීමේ අවසථාව හිමි වෙයි.
අදාල පනතට අනුව මෙම වන්දි ගෙවීම පැහැර හරින හාම්පුතුන්ට මාස හයක සිට වසර දෙකක් දක්වා සිර දඬුවමකට යටත් වීමටද සිදුවනු ඇත.

Exit mobile version