රහස් පොලිස් භාරයේ ඇති මාධ්‍යවේදිනියගේ ලැප්ටොප් පරිගණකය යළි දෙන්නැයි ඉල්ලීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගනු ලැබූ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු කතෘවරියක හා ජනමාධ්‍යවේදීනියක වන ධරීෂා බැස්ටියන්ට අයත් ලැප්ටොප් පරිගණකය යළි ඇයට ලබලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රියාකාරී ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

ස්විස් තානාපති කාර්‍යාල සේවිකාවක වන ගර්නියා බැරිස්ටර්ගේ සිද්ධියට අදාළව කෙරෙන විමර්ශන යටතේ මෙම ලැප්ටොප් පරිගණකය රහස් පොලිස් භාරයට ගෙන තිබුණි.

ධර්ෂා බැස්ටියන්ගේ ලැප්ටොප් පරිගණකය ජුනි 9 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්පත් කර ගන්නා ලදී.


SLWJA සිය ප්‍රකාශයේ දී පෙන්වා දුන්නේ ඕනෑම මාධ්‍යවේදියෙකු නීතිමය හෝ වෙනත් පරීක්ෂණයකට භාජනය කරනු ලැබුවහොත් එය ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්ට අනුකූලව කටයුතු කළ යුතු බවයි.

මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර හා සම්බන්ධතා වලට අහිතකර ලෙස බලපාන අයුරින් මෙහිදී බලධාරීන් ක්‍රියා නොකළ යුතු බව ද ඔවුහු සඳහන් කළහ.

ලැප්ටොප් පරිගණකයේ අන්තර්ගතය නිල නොවන ලෙස මහජනයාට මුදා හැරීමේ හැකියාව පිළිබඳව බැස්ටියන්ස් ඇයගේ කනස්සල්ල ප්‍රකාශ කර ඇති බව එම සංගමය පවසයි.

මේ අතර පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව කියා සිටියේ ශ්‍රී ලංකා බලධාරීන් වහාම මාධ්‍යවේදී ධරීෂා බැස්ටියන්ගේ පරිගණකය ආපසු ලබා දී ඇයට පුවත් වාර්තා කිරීමට ඉඩ දිය යුතු බවයි.

මෑතකදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බැස්ටියන්ස් කියා සිටියේ මැයි 29 සහ ජුනි 4 යන දිනවල රහස් පොලිසිය ඇගේ නිවසට ගොස් වරෙන්තුවක් නොමැතිව ඇගේ ලැප්ටොප් පරිගණකය අත්පත් ගැනීමට උත්සාහ කළ බවයි.

ජුනි 9 වන දින රහස් පොලිසිය වරෙන්තුවක් සමඟ නැවත කොළඹ පිහිටි ඇගේ නිවසට පැමිණ ඇගේ නිවස පරීක්ෂා කර ඇගේ ලැප්ටොප් පරිගණකය භාරයට ගත්තේය.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සුදුසු පරිදි කරනු ලබන ඕනෑම පරීක්ෂණයකට සහයෝගය දැක්වීමට තමන් කැමති බවත්, පරිගණකය විශ්ලේෂණය කිරීමේදී රහස් පොලිසියට කිසිදු වරදක් සිදු නොවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් බැස්ටියන්ස් පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



“නමුත් පවත්නා තත්වයන් යටතේ, ලැප්ටොප් පරිගණකයේ දෘඩාංග, මෘදුකාංග, දත්ත සහ ලේඛන සහ මට අයත් වෙනත් ඕනෑම ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය / උපාංගවල අඛණ්ඩතාව අඩපණ කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් දරන උත්සාහයන් පිළිබඳව මම දැඩි ලෙස සැලකිලිමත් වෙමි.” ඇය කියා සිටියි.

Exit mobile version