රට හදන්න ගිය සෝබිත හිමි සජිත් ගැන කී කතාව…

Omalpe-Sobitha

රට පත්ව ඇති ඛේදනීය තත්ත්වය හමුවේ  තවදුරටත් රට අරාජික වීමට ඉඩනොතබා  අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන ආණ්ඩුව පිහිටුවීමේ වගකීම භාරගන්නා ලෙස තමන්වහන්සේ ඇතුළු ආගමික නායකයින්  සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියත්  ඔහු විවිධ හේතු දක්වමින් එම වගකීම පැහැර හැරිය බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියෝ පැවසූහ.

සිරස රූපවාහිනිය සමග විශේෂ වැඩසටහනකට එක් වෙමින් මේ බව සඳහන් කළ සෝබිත හිමියෝ  අගමැතිවරයා ඉල්ලා අස්වීමෙන් හෝ ධුරය හැර යාමෙන් පසු විපක්ෂ නායකවරයා එම ධුරයේ  බලය ලබාගත යුතු වුවත් එය  කරහැරීම කිසිසේත් අනුමත නොකරන බව උන්වහන්සේ පැවසූහ.

තමන්වහන්සේ ප්‍රමුඛ ආගමික නායකතුමන්ලා අගමැති ධුරය භාරගන්නා ලෙස  විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටිය දී ඔහු ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉවත්වන තෙක් එම ධුරය පිළි නොගන්නා බව  පවසන සෝබිත හිමියෝ  ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම හෝ ඔහුගේ බලය අඩු කිරීම ව්‍යවස්ථානුකූළව කළ යුත්තක් බව පවසති.

සජිත් ප්‍රේමදාසට අගමැති ධුරය භාරගත නොහැකි නම් තමන්ගේ පක්ෂයෙක් සුදුස්සෙක් ඒ සඳහා ඉදිරිපත් කරන ලෙස  ඉල්ලා සිටිය ද එයටත් නිසි උත්තරයක් ලබා නොදී කල් මැරූ බවට උන්වහන්සේ චෝදනා කළහ.


රට ගිනිගෙන තිබෙන මේ අවස්ථාවේ නොකෙරෙන හේතු දක්වමින් කල්මැරිය නොහැකි බවත් අභියෝගයට මුහුණ දීම සඳහා ආත්ම ශක්තියක් තිබිය යුතු බවත්  සෝබිත හිමියෝ අවධාරණය කළහ.

හිස ගිනිගෙන ඇති අවස්ථාවක ඇඟිල්ලේ වේදනාව ගැන කතා කිරීමෙන්  පලක් නොවන බවත් උත්සාහ කළ යුත්තේ හිසේ ගින්න නිවා ගැනීමට කටයුතු කිරීම බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

විපක්ෂ නායකවරයා ලෙස අභියෝගවලට මුහුණ දීමේ ශක්තියක් තිබිය යුතු බව පවසන උන්වහන්සේ  වර්ථමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එලෙස අභියෝග බාර ගැනීමට ශක්තියක් නැති බව පසුගිය දිනවලදී කළ සාකච්ඡාවලින් පෙනුනේ යැයි  වැඩිදුරටත් කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් නොවී එම තනතුර අල්ලාගෙන සිටියේ විපක්ෂ නායකවරයා ගැන හොඳින් දැනගෙන විය හැකි බව දැන් පෙනෙන්ට තිබෙන බව පවසන සෝබිත හිමියෝ තමන්වහන්සේලා මේ අර්බුදය විසඳීමට දරන උත්සාහයවත් විපක්ෂය ඒ සඳහා නොදරන බව කීහ.

Exit mobile version