සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට කුජීත කළ මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය…

නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධ සහතියක් ලැබීමෙන් පසු කෙරෙන මැතිවරණ ඉතිහාසය පිළිබඳ විමසීමකි...

by editor
නොවැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගයාන් කුමාර වීරසිංහ
(සිළුමිණ)

මෙරට මැතිවරණ ඉතිහාසයේ ජනතාවගේ හදවත්වලට හොදින්ම දැනුන ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් වේ නම්, ඒ ඉකුත් ජනාධිපතිවරණය සහ පසුගියදා14 වැනිදා පැවති මහ මැතිවරණය බව අවිවාදයෙන් පිළිගත යුතුය. මැතිවරණ කොමිසම කීවේත් ඉතිහාසයේ මෙවැනි මැතිවරණයක් නොවූ බවය. මැතිවරණය වෙනුවෙන් ආණ්ඩු බලය රාජ්‍ය සම්පත් යෙදවීම් කිසිවක්ම නොවූ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කීවේය.

ඉතිහාසය පිරික්සීමේදී මැතිවරණයක් පවතින කාලයේදී මැතිවරණ දෙපාර්තමේන්තුව පැත්තෙන් මෙන්ම ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් කිසිදිනක ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණය යන වචනය අසන්නට ලැබුනේ නැත. එහෙත් මෙවර පැවැති ජනාධිපතිවරණය ගැන මෙන්ම මහ මැතිවරණය ගැන ඒ හැමෝගේම මුවගින් පිටවන්නේ වෙනත් මැතිවරණයක නොතිබුණු ආකාරයේ සුබවාදී අදහස්ය. ඒ හැම අදහසක් තුළම ගැබ් වී ඇත්තේ මෙතරම් සාමකාමී හා ගැඹුරක් සහිත මැතිවරණයක් ඉතිහාසයේ නොවූ බවය.

යහපාලන සමයේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය

යහපාලන ආණ්ඩුව 2015 වසරේ පැවති මැතිවරණයෙන් ජය ගන්නා විට එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දුන්නේ 1947න් පසු මෙරට පැවති සාමකාමීම මැතිවරණය වූයේ එම මැතිවරණය බවය. එවකට මැතිවරණ කොමසාරිස් ලෙස සේවයේ නිරතව සිටි මහින්ද දේශප්‍රිය පවසා තිබුණේ ද එම මැතිවරණය මෙරට පැවති සාමකාමී මැතිවරණයක් බවය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

කැෆේ හැරුණු කොට එවර මැතිවරණය ගැන මෙරට ක්‍රියාත්මක සෑම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙන්ම ජාත්‍යන්තර නිරීක්ෂකයන්ද සිය වාර්තා මඟින් පෙන්වා දුන්නේ මැතිවරණය සාමකාමී බවය.

එකල පොලිස්පති ධුරය හොබවන ලද්දේ එන්.කේ. ඉලංගකෝන් ය. මැතිවරණය නිමාවත් සමඟ ඔහු මාධ්‍ය හමුවේ කීවේ අපේ රටේ සාමකාමී මැතිවරණයක් පැවැත්විය හැකි බවට ඔප්පු කර ඇති බවය.

හැමෝම සාමකාමී යැයි එදා කී 2015 මහ මැතිවරණ සමයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වල නම් අඩුවක් නොවීය. දේශපාලනය හා බැඳුණු මිනිස් ඝාතන පමණක් 03ක් වාර්තා වී තිබුණි. ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලිස් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ තොරතුරුවලට අනුව එවර අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 1000කට වැඩිය.

මෙරට ඉතිහාසයේ සෑම මැතිවරණයක් හා පාතාලය ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් බැඳී සිටියේ ය. තමන්ට හිතවත් දේශපාලනඥයන් පත් කරගැනිමේ සටනක ඔවුහු නිරත වූහ. වෙඩි තබා ගැනීම්, බිය වැද්දවීම්, මරා ගැනීම් පිටුපස වැඩි හරියක්ම සිටියේ මේ පාදඩ පාතාලයන්ය. 2015 මහා මැතිවරණයේදී සිදුවූ මිනිස් ඝාතන තුන පිටුපස පාතාලය සිටියේය. ඝාතන දෙකක් කොළඹදී සිදුවන අතර එක් ඝාතනයක් රත්නපුරයේ සිදුවිය. ඝාතනය වන්නේ එජාපයේ ආධාරකරුවන්ය. කොළඹ ද්විත්ව ඝාතනය පිටුපස සිටියේ දෙමටගොඩ හොල්ලාගෙන සිටින පාතාලයේ කුඩු රජවරුය.

ප්‍රචණ්ඩත්වය සංඛ්‍යාත්මකව ඉහළ යාම

2015 මහ මැතිවරණයෙන් පසු හැමෝම සාමකාමී සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් යැයි කීවේ මිනිස් ඝාතන මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා නොතිබුණු මැතිවරණයක් ගැන නම් නොවේ. ඒ වෙනත් මැතිවරණයන්ට සාපේක්ෂව එම මැතිවරණය ගැනය. ඒ අනුව ඉතිහාසයේ ඊට පෙර පැවති මැතිවරණ කොහොම තිබෙන්නට ඇතිදැයි පිරික්සීමේදී පෙනී යන්නේ අසූව දසකයේ සිට මෙරට පැවති සෑම මැතිවරණයක්ම පාහේ ප්‍රචණ්ඩත්වයෙන් සහ අපරාධවලින් පිරුණු ඒවා බවය. පැවති රජයන්වල අනුග්‍රහයන් ලබන මැර කණ්ඩායම් ඡන්ද පෙට්ටි පිටින් පුරවන ලද ඉතිහාසයක්ද අපේ රටේ තිබුණේය. මැතිවරණ වේදිකා ඉලක්කර ගනිමින් එල්.ටී.ටී.ඊ.ය විසින් බෝම්බ පුපුරවා ගැනීම ද මැතිවරණය හා බැඳුණු ප්‍රචණ්ඩත්වය සංඛ්‍යාත්මකව ඉහළ යාමට බලපෑවේය.

1994 වසරේ පැවති ජනාධිපතිවරණයේදී එජාපයේ ජනපති අපේක්ෂකයා වූ ගාමිණි දිසානායක ඉලක්ක කරගෙන තොටළඟ දේශපාලන රැස්වීමකදී පුපුරවා හරිනු ලබන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සැලකෙන්නේ එල්.ටී.ටී.ඊ.ය විසින් මැතිවරණ වේදිකාවක සිටි දේශපාලනඥයන් ඉලක්කරගෙන එල්ල කරනු ලැබූ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙසිනි. එම ප්‍රහාරයෙන් ජනපති අපේක්ෂක ගාමිණි දිසානායක ඇතුළු 56 දෙනෙක් මිය ගියහ. තුවාල ලැබූ පිරිසද බොහෝය. මියගිය අතර නම ගිය දේශපාලනඥයන් රැසක් ද වූහ.

1999 වසරේ පැවති ජනාධිපතිවරණ වේදිකා දෙකක්ද ඉලක්කර ගනිමින් එල්.ටී.ටී.ඊ.ය බෝම්බ පුපුරවා ගැනීම් සිදුකරනු ලැබීය. එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ එක් ඇසක් අහිමි වන්නේද පුරහල් භූමියේ පැවති ජනාධිපතිවරණයේ අවසන් රැලිය ඇමතීමට පැමිණි අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බයකට හසුවය. එම ප්‍රහාරයෙන් මියගිය ගණන 24කි. මෙම බෝම්බ ප්‍රහාරයට සමගාමීව ජැ-ඇල පැවති එජාපයේ ජනාධිපතිවරණ වේදිකාවක් ඉලක්කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබුණි. එහිදී විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙක් වූ ලකී අල්ගම ඇතුළු 12 දෙනෙක් මිය ගියේය.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර

කොළඹ පුරහලේදී සහ ජා-ඇලදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකෙන් මිය ගිය පිරිසට අමතරව ජනාධිපතිවරණය ආශ්‍රිත සිදුවීම් මුල්කරගෙන එම ජනාධිපතිවරණ සමයේදී සිදුව තිබුණු මිනිස් ඝාතන ගණන 28කි. මේ කාලය තුළ පොලීසියෙන් ද වෙඩි කා ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 02 දෙනෙක් මියගොස් තිබීම විශේෂිතය. 1999 ජනාධිපතිවරණ සමයේදී පොලීසියට වාර්තා වූ ප්‍රචණ්ඩ ක්‍රියා ගණන පමණක් 1319කි.

පොලිස් මූලස්ථාන සංඛ්‍යා දත්තවලට අනුව බලන කල 2001 වසරේදී පැවති මහ මැතිවරණය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ගහන වූ මැතිවරණයකි. පොලීසියට වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ගණන පමණක් 2770කි. ඒ අතර දේශපාලන ආධාරකරුවන්ගේ ඝාතන ගණන 68කි. පොදු පෙරමුණේ 26 දෙනෙක්, එජාපයේ 22දෙදෙනෙක්, දෙමළ ජාතික සන්ධානයේ 02 දෙනෙක්, ප්ලොට් සංවිධානයේ 02 දෙනෙක්, මුස්ලිම් කොංග්‍රසයේ 10 දෙනෙක්, ටෙලෝ සංවිධානයේ 02 දෙනෙක්, සහ ඝෘජුවම පක්ෂයක් අනාවරණය නොවන පුද්ගලයන් දෙදෙනෙක් ඝාතනය වූවෝ අතර වූහ.

උඩතලවින්නේදී වෑන් රථයක් තුළ දේශපාලන ආධාරකරුවන් 10 දෙනෙක් එක පොදියට ඝාතනය වූ මැතිවරණ ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය සිදුවන්නේද 2001 වසරේ පැවති මහ මැතිවරණ සමයේදීය. මේ හැරුණුකොට 2001 මහ මැතිවරණය වයඹ පළාත් සභා මැතිවරණයේ සිදුවූ ප්‍රචණ්ඩත්වයට වඩා දෙතුන් ගුණයක් ඉහළ යමින් ගිනි තැබීම් 280ක්ද, බෝම්බ ගැසීම් 138ක්ද, වෙඩි තැබීම් 73ක් ඇතුළු අපරාධ ගොන්නක්ම සිදුවූ මැතිවරණයක් බවට පත්ව තිබුණි. ඒ ජාත්‍යන්තරය හමුවේ අපේ රටට කළු පැල්ලමක්ද එක්කරමිනි.

එය එසේ වුවත් පොලීසිය දේශපාලන බලපෑම් හමුවේත් උපරිමයෙන් නීතිය ඉටුකිරීමට වෙහෙසකර උත්සාහයක නිරත විය. මැතිවරණ සමයේ සිදු වූ දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන්ගේ පුත්තු 05 දෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 03 දෙනෙක්, පළාත් සභා ඇමැතිවරු 04 දෙනෙක්, පළාත් සභා මන්ත්‍රීවරු 10 දෙනෙක්, නගරාධිපතිවරු 06 දෙනෙක්, ප්‍රාදේශීය සභා සභාපතිවරු 18 දෙනෙක් සහ නාගරික මන්ත්‍රීවරු 10 දෙනෙක් අත්අඩංගුවට ගත්තේද එබැවිනි. නමුත් ඒ අයට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූ බවක් අදටත් දැන ගන්නට නැත.

දේශපාලන මුහුණුවරක් ගත් ඝාතන

2001 වසරින් පසු නැවතත් අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ 2004 වසරේදීය. එම මැතිවරණය පුරාවටම දේශපාලන මුහුණුවරක් ගත් ඝාතන වාර්තා වන්නේ 02ක් පමණි. එයින්ද එක් ඝාතනයක් මඩකලපුවේදී සිදුවූ එල්.ටී.ටී.ඊයේ ඝාතනයකි. අනෙත් ඝාතනය සිදුවන්නේ නිවෙසකට ගල්ගැසීමක් මුල්කරගෙන සිදුවන වෙඩි තැබීමකි. එම ඝාතනය වාර්තා වන්නේ මැදිරිගිරියෙනි.

මෙම ඝාතන දෙක හැරුණු කොට ඝාතන තැත් කිරීම් 04ක්, බෝම්බ ගසා බියගැන්වීම් 04ක්, අවි පෙන්වා තර්ජනය කිරීම් සහ වෙඩි තැබීම් 42ක්, පැහැරගෙන යාම් 03ක්, ගිනි තැබීම් 23ක්, පහර දී දේපොළ හානි කිරීම් 139ක්, බිය ගැන්වීම් 244ක් කොල්ලකෑම් 23ක්, නිවෙස් බිදුම් 10ක් ද මැතිවරණ කාලය තුළ දේශපාලනිකව සිදුව ඇත. පෙර මැතිවරණවලට සාපේක්ෂව එකල මෙය සැලකුණේ ඉතා සුළු සිදුවීම් ලෙසිනි.

2004 වසරේ මහමැතිවරණය පැවැත්වෙන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකය පක්ෂ දෙකක් අතර දෝලනය වී තිබෙන මොහොතකය. එදා ජනාධිපති ධුරය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දරන විට අගමැති ධුරය දැරුවේ රනිල් වික්‍රමසිංහය. එවර මැතිවරණය ඊට පෙර පැවති සෙසු මැතිවරණ හා සාපේක්ෂව ප්‍රචණ්ඩත්වය අවම කරමින් පැවැත්වීමට හැකියාව පොලීසියට ලැබෙන්නේ පක්ෂ දෙකක් තුළ විධායකය හා පාර්ලිමේන්තුවේ බලය පැවතීම හේතුවෙන්ය. එමෙන්ම , 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්ථාපිත කර තිබුණු ජාතික පොලිස් කොමිසම පොලීසියේ කොඳු නාරටිය ශක්තිමක් කර තිබීම හේතුවෙන්ය. ඊටම ගැළපෙන නිලධාරියෙක් පොලිස්පති ධූරයේ එකල සිටියේය. ඔහු ඉන්ද්‍රාද සිල්වාය. එතෙක් ඉතිහාසයේ මැතිවරණයක් අපක්ෂපාතීව පොලීසිය පැත්තෙන් මෙහෙය වූ පළමු අවස්ථාව ලෙස එම වකවානුව අදටත් ඉතිහාසයට එක්වී හමාරය.

ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මැතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් අත්අඩංගුවට ගත් මැතිවරණය ලෙස එම මැතිවරණය ඉතිහාසයට එක් වූයේය.

ඉතිහාසයෙ මුල්වරට වැඩිම අපේක්ෂකයින් ප්‍රමාණයක් අත් අඩංගුවට…

පොලීසියේ සංඛ්‍යා දත්තවලට අනුව 2004 මහ මැතිවරණ සමයේදී පමණක් අත්අඩංගුවට ගෙන ඇති අපේක්ෂකයන් ගණන 40කි. ඒ එජාපයේ අපේක්ෂකයන් 14 දෙනෙක්, පොදු පෙරමුණේ අපේක්ෂකයන් 16 දෙනෙක්, මුස්ලිම් කොන්ග්‍රසයේ අපේක්ෂකයන් 02 දෙනෙක්, ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් 02 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් 06 දෙනෙක් වශයෙනි. මේ හැරුණු කොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 29 දෙනෙක්ද, නාගරික මන්ත්‍රීවරු 02 දෙදෙනක්ද, පළාත් සභා මන්ත්‍රීවරු 03 දෙනෙක්ද මැතිවරණ ප්‍රචණඩ ක්‍රියා සහ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි. මෙතරම් දේශපාලනඥයන් පිරිසක් ඊට පෙර මෙන්ම පසුවට පැවති මැතිවරණවලදී පොලීසිය අත්අඩංගුවට ගෙන නොතිබීමද විශේෂත්වයකි.

එවර මැතිවරණය තවත් සුවිශේෂි වන්නේ එතෙක් කාලයක් පුරාවට මැතිවරණය දින සිට දිනක් දෙකක් ක්‍රියාත්මක කළ ඇදිරිනීතිය එම මැතිවරණයත් සමඟ නොදැමීමට කටයුතු කිරීමය. ඒ අනුව 2004 මහ මැතිවරණයෙන් පසුව රට තුළ ඡන්දයත් සමඟ පැනවෙන ඇදිරිනීතියට නැවතීමේ තිත තැබුනද පසුගිය ජනාධිපතිවරණයේදී ඇදිරිනීතිය පැනවීමට එකල පාලකයන් පියවර ගනු ලැබුවේ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී පරිසරයක් රට තුළ පවතිද්දී ය. මහ මැතිවරණය අවසන් වීමත් සමඟ පැවති පළාත් සභා මැතිවරණයේදී පොලීසිය මහා මැතිවරණයට එහා ගිය ආකාරයට නීතිය අකුරට ඉටු කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය පළාත් සභා මන්ත්‍රී ධුර අපේක්ෂකයන් 50කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තේ දේශපාලන ආධාරකරුවන් 1000කට වැඩි පිරිසක්ද සමගිනි. ඒ හැරුණු කොට දේශපාලන වැඩට යොදාගත් රජයේ වාහන 25ක් පොලිස් භාරයට ගත්තේ කිසිදු දේශපාලනඥයෙකුට පොලීසියට බලපෑම් කිරීමට හෝ ඇඟිල්ලක් දිගුකරන්නට ඉඩ නොතබමිනි.

නිදහස් සාධාරණ මැතිවරණයක් උදෙසා ප්‍රචණ්ඩත්වයෙන් තොර මාවතත් 2004 වසරේදී උදාවූයේය. වර්ෂ 2005 වසරේ ජනාධිපතිවරණයේදී එය අඩු වැඩි ඇතිව රැක ගැනීමට පොලීසියට යම් හැකියාවක් ලැබිණි. නමුත් එතැන් සිට පැවති මැතිවරණ බොහෝමයක්ම පැවතියේ පාතාලයේ අපරාධකරුවන්ගේ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ අණසකට යටත්වය.

ඇතැම් පාතාල අපරාධකරුවෝ අරලියහ මන්දිරය වැනි ස්ථානවල රැස්වීම් පවත්වමින් දේශපාලන ප්‍රබලයන්ව මුණගැසී මැතිවරණ ජයග්‍රහණ සඳහා දිවි හිමියෙන් කැපවෙන බව කී අවස්ථාද වාර්තා විය. අදවන විට එම පාතාල අපරාධකරුවන් ඉන්නා තැනක් සොයා ගන්නට නොමැති වුවත් ඔවුන් නිසා පොලීසිය දැඩිව අසරණ අවස්ථා නම් බොහෝය.  නීතියේ ආධිපත්‍ය මත පිහිටා අත් අඩංගුවට ගෙන බලු කූඩුවේ දැමිය යුතු තමන් හොඳින්ම දන්නා පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ට ආචාර කිරීමට පවා එවකට පොලිසියට සිදුවිය.

අහස උසට කටවුට් – කුඩුකාරයින්ගේ දේශපාලනය

2019 ජනාධිපතිවරණයේ දී මෙන්ම 2020 මහ මැතිවරණ සමයේද මැතිවරණ නීතිය උල්ලංඝණය කිරිමේ ලොකු අඩුවක් නොවීය. ඇතැම් ජනාධිපති අපේක්ෂකයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂකයන්ගේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාල පැවතියේ නම ගිය පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගොඩනැඟිලිවලය. සිය අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බඩු මලු බෙදුවේත් පෝස්ටර් ගැසුවේත් අහස උසට කටවුට් ගැසුවේත් පාතාලයේ ප්‍රසිද්ධ කුඩුකාරයන්ය.

පාතාලයන් මෙන්ම කුඩුකාරයන් බොහෝ අපේක්ෂකයන් වටා එක්ව මැතිවරණ සටනේ නිරතව සිටියත් වෙනත් මැතිවරණ කාලවලදී මෙන් 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී හෝ 2020 මහ මැතිවරණයේදී හෝ දේශපාලනික මුහුණුවර ගත් මිනිස් ඝාතන කිසිවක් නොවීය. පසුගිය පස් වසර තුළ පැවති ප්‍රධාන මැතිවරණ 4ක දී මිනිස් ඝාතනයකින් තොර මැතිවරණයක් පැවැත්වීමට හැකි වීම රටක් ලෙස අප ලද ජයකි.

පොලිස් මූලස්ථාන සංඛ්‍යා දත්තයන්ට අනුව 2019 ජනාධිපතිවරණ කාලසීමාවේදී මැතිවරණයට අදාළ ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පොලීසියට ලද පැමිණිලි ගණන 313 කි. ඒ අතර ඇති අපරාධමය ඝණයට වැටෙන පැමිණිලි ගණන 139කි. පොලිසිය විසින් මැතිවරණයට අදාලව සිදුකළ අත්අඩංගුවට ගැනීම් ගණන 186 දෙනෙකි. මේ හැරුණු කොට අත්අඩංගුවට ගත් වාහන ගණන 30කි. 2020 වසරේ මහා මැතිවරණය සමයේදී පොලීසියට වාර්තා වූ පැමිණිලි ගණන 482කි. ඒ අතර ඇති අපරාධමය ගණයේ පැමිණිලි ගණන 128කි. අත්අඩංගුවට ගැනීම් ගණන 742කි. එම මැතිවරණ සමයේදී අත්අඩංගුවට ගත් වාහන ගණන 165කි.

අලුත් සංස්කෘය –

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමට මුල් වූ පසුගිය ජනාධිපතිවරණ සටන පැවැතියේද ඉතිහාසයේ සාමකාමීව පැවති මැතිවරණයක් ලෙසිණි. මැතිවරණය ආරම්භයේදී රටින් පලාගොස් සිටින පාතාල අපරාධකරුවන් සිය ගෝලබාලයින් මඟින් වැඩ ඇල්ලීමේ සූදානමක් පැවතියත් ජයග්‍රාහකයා කවුරුන්දැයි පැහැදිලිවම පෙනෙන්නට ගැනීමත් සමඟ ඔවුන් කඩේ වසා ගත්තේ ඉතිහාසයේ සාමකාමී මැතිවරණයක් බවට ජනාධිපතිවරණය පත්කරමිනි. එය එසේ වුවත් මැතිවරණයට අදාළ නීති උල්ලංගණය කිරීම් මෙන්ම මැතිවරණයට අදාළ අපරාධමය ගණයට වැටෙන සිදුවීම් සිදුවීම් ද වාර්තා විය. ජනාධිපතිවරණ සමයේ පොලිසියට වාර්තා වූ පැමිණිලි ගණන 582කි. ඒ අතර අපරාධමය ගණයේ පැමිණිලි 168ක්ද මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ පැමිණිලි 414ක්ද විය. දේශපාලන ආධාරකරුවන් 160 දෙනෙක් වාහන 17ක් සමඟ මේ කාලය තුළ අත්අඩංගුවට ගැනුණි. නමුත් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වූයේ නැත.

මැතිවරණ කොමිසමද තදින්

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෙන්ම මෙවර මහ මැතිවරණ සමයේද පෙර මැතිවරණවලදී මෙන් බරපතළ ගණයේ කිසිදු ප්‍රචණ්ඩත්වයත් නොවීය.

කාලයක් තිස්සේ මැතිවරණය හා බැඳුණු පෙළපාළිවලටද නැවතීමේ තිත තැබී තිබුණේ මැතිවරණ කොමිසමද තදින් සිටීම හේතුවෙනි. පොලීසියද මැතිවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් බලපුළුවන්කාරකමින් වෙනදා මැතිවරණ කාලවලදී මෙන් අපේක්ෂකයන්ට පෙළපාළි යන්නට ඉඩක් නොවීය.

රතිඤ්ඤා දල්වමින් මහජනතාවට ලොකු හිසරදයක් ගෙන දෙන ආකාරයේ පෙළපාළි ගැටුම්වලටද මුලය. එවන් නීති විරෝධි පෙළපාළි කිහිපයක්ම යාමට ඇතැම් අපේක්ෂකයන් උත්සාහ ගත්තද ඒ හැම එකක්ම පොලීසිය කෙළින් සිටීම හා ජනාධිපති ඇතුළු රජය එවැනි දේවලට රුකුල් නොදීම හේතුවෙන් ව්‍යාර්ථව ගියේ ඉතිහාසයේ සාමකාමීම මහ මැතිවරණය බවට මෙම මැතිවරණයද පත්වෙමිනි.

මේ තුළින් කියාපාන්නේ මෙවර පැවති මහ මැතිවරණ සමය තුළ අපරාධමය ගණයේ කිසිදු සිදුවීමක් හෝ මැතිවරණ නීතිය උල්ලංගණය කිරීමක් සිදු නොවූ බව නොව, පෙර මැතිවරණ හා සාපේක්ෂව මෙන්ම බැලූ බැල්මට ඇඟට දැනෙන ආකාරයේ සාමකාමී තත්ත්වයක් පැවති බවය.

උතුරේ තත්ත්වය

පොලීසියේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙන ආකාරයට අනුව මෙවර මහ මැතිවරණ සමයේදී මැතිවරණයට අදාළ අපරාධමය සිදුවීම් සම්බන්ධයෙන් පොලීසියට ලැබී ඇති පැමිණිලි ගණන 61කි. ඒ පසුගිය සැප්තැම්බර් 24 වෙනිදා සිට නොවැම්බර් 11 දක්වා වූ කාලසීමාව තුළදී තත්ත්වයි. මෙම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි ගණනක් ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් ආශ්‍රිතවය. එම ගණන 23කි. ඒ අතරින්ද වැඩිම පැමිණිලි ගණනක් වාර්තා වී ඇත්තේ මඩකලපුවෙනි. එම ගණන 10කි. ඊට පසු වැඩිම පැමිණිලි ගණනක් ඇත්තේ අම්පාරෙනි. පැමිණිලි ගණන 05කි. තුන්වැනියට වැඩිම පැමිණිලි ඇත්තේ මොනරාගලින්ය. එම ගණන 4කි.

මෙසේ ලැබී ඇති පැමිණිලි අතර බරපතළ තුවාල ගෙන දෙන සිදුවීම් වාර්තා වී ඇත්තේ එකකි. එය වාර්තා වී ඇත්තේද මඩකලපුවෙනි. එල්.ටි.ටී.ඊ.යේ හිටපු ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙක් වන පිල්ලෙයාන්ගේ පාර්ශ්වය හා කරුණා අම්මාන්ගේ පාර්ශ්ව දෙක අතර මනාප පොරයක් මුල්කරගෙන ඇතිවන එම ගැටුමේදී කරුණා අම්මාන්ගේ පාර්ශ්වයේ තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කරනු ලබන්නේ අපේක්ෂකයෙකුද සමගිනි.

පොලිස් වාර්තාවලට අනුව මෙවර මහ මැතිවරණයේ සුළු තුවාල ගෙනදුන් පහරදීම් ගණන 19කි. මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන නීතිඥ ඉන්දික විජය බණ්ඩාරට දේශපාලන රැස්වීමක් අමතා සිය නි‌වෙස බලා ජීප් රථයෙන් රාත්‍රී කාලයේ ගමන්කරමින් සිටියදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර පහරදීම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන නඩරාජා රවිරාජ්ගේ බිරිඳවන මෙවර යාපනය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂිකාවක් වන සසිකලා රවිරාජ් පදිංචි නි‌වෙසට පහරදීම හා ඇය ගමන් කළ මෝටර් රථයට පහරදීම, හිටපු අමාත්‍යවරුන් මෙන්ම අපේක්ෂකයන්ද වන රිෂාඩ් බදියුදීන් හා කාදර් මස්තාන් යන අයගේ ආධාරකරුවන් වවුනියාව නෙළුම්කුලමේදී ගැටුමක් ඇතිකර ගැනීම ඇතුළු සිදුවීම් කිහිපයකදීම තුවාල ලැබූවන් ගණන ඇතුළත් වන්නේ සුළු තුවාල ලැබූවන්ගේ ගණයටය.

අපේක්ෂා කළාටත් වඩා දකුණ සාමකාමීයි….

මෙවර මහ මැතිවරණයේ යම් ප්‍රචණ්ඩකාරී සිදුවීම් කිහිපයක් සිදුව ඇත්නම් ඒවායින් වැඩි හරියක්ම සිදුව ඇත්තේ උතුරු- නැගෙනහිර පළාත් ආශ්‍රිතවය. සමස්තයක් ලෙස ගත්කල දකුණ මෙවර අපේක්ෂා කලාටත් වඩා සාමකාමීය. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පවා පසුගිය 13 වෙනිදා දක්වා ඇත්තේ 458ක් පමණි. ඒ අතරද 219ක්ම ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වූ පොලිස් වැටලීම්ය. මහජනතාවගෙන් පැමිණිලි ලෙස ලැබී ඇති මැතිවරණ නීති උල්ලංගණය කිරීම් පොලීසියේ ලියැවී ඇත්තේ 239කි.

මෙරව මැතිවරණයේ අපේක්ෂකයෙක් වන හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බදුල්ලේදී රෙදි ගලවා ගත්තේද මැතිවරණ නීතිය උල්ලංගනය කිරීමට ගොසිනි. ප්‍රචණ්ඩ ක්‍රියා අතින් උතුරු නැ‌ගෙනහිර පළාත් ඉදිරියෙන් සිටියත් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කෙරන වැටලීම් අතින් ඉදිරියෙන් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. ඒ අතරින්ද වැඩිම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගණනක් නීතියේ රැහැනට හසුකරගෙන ඇත්තේ නුගේගොඩ පොලිස් කොට්ඨාසය තුළිනි. එම ගණන 35කි. දෙවැනියට වැඩිම මැතිවරණ නීති උල්ලංගණය කිරීම් නීතියේ රැහැනට හසුකරගෙන ඇත්තේ කළුතර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ය. එසේම කොළඹ නගරයේ වැටලීම් සිදුකර නැති ගාණය.

මේ කාලය තුළ නීති විරෝධි ලෙස ප්‍රදර්ශනයේ පැවති මැතිවරණයට අදාළ වැඩිම පෝස්ටර්, කටවුට්, බැනර් ප්‍රමාණයක් ඉවත්කර ඇත්තේ බස්නාහිර පළාතිනි. පෝස්ටර් පමණක් ඉවත්කර ඇති ප්‍රමාණය ලක්ෂ 05කට ආසන්නය. එසේම පෝස්ටර් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයටද ගෙන ඇත. දෙවැනියට වැඩිම පෝස්ටර් ප්‍රමාණයක් ගලවා ඇත්තේ වයඹ පළාතෙනි. එම ගණන ලක්ෂ දෙකකට වැඩිය. එසේම පෝස්ටර් ලක්ෂ එකහමාරකට ආසන්න ප්‍රමාණයක් ද පොලිස් භාරයට වයඹ පළාතින් ගෙන ඇත. අඩුම පෝස්ටර් ප්‍රමාණයක් ගලවා ඇත්තේ නැගෙනහිර පළාතින් වන අතර එම ගණන පනස් දහකට ආසන්නය.

ඉතිහාසයේ ආදර්ශවත්ම මැතිවරණය – මැතිවරණ නීති කැඩූ කොච්චි කඩේ ඕඅයිසී ත් අත් අඩංගුවට…

සමස්තයක් ලෙස ගත් කල මුළු රටින්ම ගලවා ඇති පෝස්ටර් ප්‍රමාණය ලක්ෂ පහළොවකට වැඩිය. පොලිස් භාරයට ගත් පෝස්ටර් ප්‍රමාණයද ලක්ෂ 7 ඉක්මවා තිබේ. මෙවර මහ මැතිවරණයේදී තවත් සුවිශේෂි සිදුවීමක්ද විය. මැතිවරණයට අදාල සිදුවීමක් මුල්කරගෙන පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වීමය.

එසේ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරයට පත්වන්නේ මීගමුව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩිය. කොච්චිකඩේ පොලිස් ස්ථානයට අනුයුක්තව ස්ථාපිත කළ පොලිස් මැතිවරණ අංශයේ නිලධාරීන් නීති විරෝධි පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීමට කටයුතු කිරීමේදී ඒ පැත්තේ දේශපාලන බලවතාව සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන අපේක්ෂකයෙකුගේ පෝස්ටර් පවා ඉවත් කරනු ලැබීය.

ඒ ගැන පොලිස් ස්ථානාධිපතිවරයා උරණ වන්නේ මැතිවරණ අංශයේ ස්ථානාධිපතිවරයා සමගිනි. සිය කාර්යාලයට මැතිවරණ අංශයේ ස්ථානාධිපතිවරයා ගෙන්වා දොස් නඟන්නේ තර්ජනයක්ද කරමිනි. ඒ ගැන මැතිවරණ අංශයේ ස්ථානාධිපතිවරයා සිය උසස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව කෙරෙන විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නේ පසුගිය 11 වෙනිදා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මැතිවරණ නීති උල්ලංගණය කරමින් කටයුතු කළ 491 දෙනෙක් පසුගිය 13 වෙනිදා වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අතර අපේක්ෂකයෝ පමණක් 14 දෙනෙක් සිටිති. අම්පාරේ සිදුවූ පහරදීමකට අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගැනීමට පවා පොලිසිය සිටියේ විමර්ශන පවත්වමිනි. ඒ අනුව මැතිවරණ සිදුවීම්වලට අදාළ පොලීසියේ අවසන් වාර්තාව අද හෙට සකස් කරන විට අත්අඩංගුවට ගත් අපේක්ෂකයන්ගේ ගණන මෙයට වඩා ඉහළ යනු ඇත.

මේ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝගණය කරමින් පරිහරණය කළ වාහනද 117ක් පොලිස් භාරයට ගෙන ඇත. විශේෂත්වයක් වන්නේ ඒ අතර කිසිදු රජයේ වාහනයක් නොමැති වීමයි. සමස්තයක් ලෙස ගත්කල මෙවර මහ මැතිවරණය ඉතිහාසයට එක්වන්නේ මෙරට පැවති සාමකාමීම මැතිවරණය ලෙස පමණක් නොව, රජයේ දේපොළ මැතිවරණයට යොදා නොගත් ඉතිහාසයේ ආදර්ශමත්ම මැතිවරණය ලෙස බවටය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත්… ඔයාලා කල් පැනලා…

Next Post

මහින්දානන්ද දේශපාලනයෙන් සමුගනී… හැමෝටම දළදා පිහිට පතයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.