ලලිත් චාමින්ද –
මේ රටේ ජනතා මුදල් අවභාවිතා කළ, දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්නා පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කිරීම දේශපාලන පළිගැනීමක් නොවන බැවින් වැළලෙන්නේ නැතිව ඉන්නයි ධිවර හා ජලජසම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමති රත්න ගමගේ පවසයි..
අද (25) අක්මිමන දි පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
“මහජන මුදල් කොල්ලකාපු දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනිමක් නෙවෙයි. නිත්‍යානුකුලව කටයුතු කිරිමක් තමයි කරලා තියෙන්නේ. මෙවා ජනතාගේ බදු මුදල්. මේ ජනතාව වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයක්.”
‘මේ නිසා කට්ටියකට රිදෙන්න පුළුවන්. වැළපෙන්නත් පුළුවන්. මේ ගැන කණගාටුවට පත්වෙලා දේශපාලන කෝණයෙන් බලන අයට වැළලෙන්නත් පුළුවන්. රිදෙන්න, වැළපෙන්න,වැළලෙන්න සිද්ධවෙන්නේ දේශපාලන කෝණයකින් බලන නිසා.”
“ජනතා මුදල් අවභාවිතා කරලා තියෙනවානම් කිසියම් දේශපාලනඥයකු හෝ ආයතනයක් අපක්ෂපාතීව සාධාරණව පරික්ෂණ පවත්වලා ඒ ගැන කටයුතු කළයුතුයි. පුද්ගලයින් තෝරලා කරන්න කටයුත්තක් හෝ එහෙම නැතිනම් ඒ අයට අපහාසයක්, උපහාසයක් වෙන්න කරන කටයුත්තක් නෙවෙයි. ”
“කිසියම් වැරදි දෙයක් කරලා තියෙනවා නම් ඒ සඳහා මුහුණ දීමට සුදානම් විය යුතුයි. .මහජන දේපල කොල්ල කාලා තියෙනවා නම් නිත්‍යානුකුල විදියට ඒ සදහා මුහුණදිමට සුදානම් විය යුතුයි.”
නීතියෙන් පරිබාහිරව වෙන බලපැමක් නොමැති බවද නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කළේය..







