රටේ අන්තිම ඩොලර් ටිකෙන් රට ගිය රාජ්‍ය ඇමතිවරයෙකුට අතරමග දී බිරියගෙන් ලැබුණු කෙටි පණිවිඩය….   

.... එනකොට කිරිපිටි ටින් එකක් අරන් එන්න.....

2021 වර්ෂාවසානයේ  කළ විදේශ සංචාරය අතරතුර  ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාගේ බිරිය “එන ගමන් කිරිපිටි ටින් එකක් රැගෙන එන්නැ“යි   ඔහුට කෙටි පණිවිඩයක් එවූ බව අමාත්‍යවරයා කීවේය.

රටේ ජනතාව විඳින පීඩාව තමන්ට මැනවින් පෙනෙන බව ඇමතිවරයා පැවසීය.

ආනයනයනික කිරිපිටි හිඟය. දේශීය කිරිපිටි නිශ්පාදනය රටට ප්‍රමාණවත් නැත.  රටේ හැම තැනම කිරිපිටි ගන්නට දිගු පෝලිම්ය. මිරිහානේ දී ගරු ජනාධිපතිතුමාටත් හූවක් වැදුනු බව කියන්නෙ පැලවත්ත කිරිපිටි  අලෙවි මධ්‍යස්ථානය ඉදිරියේ පිටි පැකට් එකක් ගැනීම සඳහා පෝලිමේ සිටි මිනිසුන්ගෙනි.


පෝලිමේ නොසිට කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට ලබන   පෙබරවාරි මාසය දක්වා සිටීමට සිදුවනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පෙරේදා (30)   කීවේය.

බැංකුවලින් ණයවර ලිපි ලබා ගැනීමේ ගැටලුව හේතුවෙන් කිරිපිටි ආනයනය ප්‍රමාද වී ඇති බව ඔවුන් පෙන්වා දුන්නේය.  හේතුව  ඩොලර් හිඟය ය.   දේශීය හා විදේශීය බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම නොකරන බැවින් කිරිපිටි වෙළදපලට ඒම  ප්‍රමාද වූ බව ආනයන කරුවෝ පැවසූහ.

මේ වන විට තොග පවතින සමාගම් කිරිපිටි වෙළඳපලට නිකුත් කළද සමාගම් වැඩි පිරිසකට කිරිපිටි තොග නොමැති බැවින් ආනයනය කළ කිරිපිටි තොග මෙරටට පැමිණ වෙළදපලට නිකුත් කිරීමට ලබන  පෙබරවාරි මාසය මැද පමණ වනු ඇතැයි සංගමය කීවේය.

සංචාරයක් ගිය රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට ඔහුගේ බිරිය කෙටි පනිවඩයක් මගින් ගෙදර එනවිට කිරිපිටි ටින් එකක් රැගෙන එන්නැයි   තිබුණේ මේ ජරමර අතරය. රාජ්‍ය ඇමතිවරයා කීවේ ඒ පණිවිඩය එන විට තමන් සිටියේ ට්‍රාන්සිට් එකක බවය.

නත්තල් හා නව අවුරුදු උදාවත් සමග සෑම වසරකම දෙසැම්බර් අග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශ ගතවන අතර මෙවරත් වර්ෂාවසාන නිවාඩුව ගත කිරීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් අසූවක පමණ පිරිසක් ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ බරපතළ ඩොලර් හිඟයක් හා ආහාර හිඟයක් ඇතිවී ඇති බවට මත පළ වී තිබියදී මෙලෙස පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඩොලර් වියදම් කරමින් විදේශ සංචාරයේ නිරතවීමත්,  කිරිපිටි හිඟය රටතුළ ඇතිවීමට ප්‍රධානම හේතුව ඩොලර් හිඟය වීමත් දෛවෝපගත සිදුවීමකි.

Exit mobile version