රටට එන්න බැරිව චාමිනී අබුඩාබිවල කොටු වෙලා…

ලාංකික කාන්තාවන් රැසකට ඒ ඉරණම... අම්මාවරු, ගැබිණියන් ඒ අතර....

චාමිනී සෙනවිරත්න

සදෙව් රත්නායක

අබුඩාබි නුවර ක්‍රිකට් පුහුණුකාරිනියක සහ ශාරිරික අභ්‍යාස පුහුණුකාරිනියක ලෙස සේවය කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ හිටපු විශිෂ්ඨතම තුන්ඉරියව් ක්‍රීඩිකාවක වූ චමනී සෙනෙවිරත්න කොවිඩ් වසංගතය හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කොටුවී සිටින බව වාර්තා වෙයි. 

1997 සිට 2014 දක්වා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කළ ඇය ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගිය අතර  මේ වනවිට රැකියාව අහිමිවීමේ අවදානමකට ද ලක්වී සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් රැසක්ම අබුඩාබි නුවර සිරවී සිටින බවත්, ඒ අතර මව්වරුන් ද, ගැබිණියන් ද සිටින බවත් වාර්තා වෙයි. මේ සියළු දෙනා නිරුපද්‍රිතව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ඇය ඉල්ලා සිටී.


අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලෙන් බිහිවූ මෙම ක්‍රීඩිකාව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 80කට සහ විස්සයි20 තරග 32කට ක්‍රීඩා කළාය. 1998 වසරේ පාකිස්තානය සමග පැවැති ශ්‍රී ලංකා පිලේ එකම ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 105ක් රැස් කරමින් ඇය අසමසම වාර්තාවකට ද හිමිකම් කියයි. 

මීට වසර දෙකකට පෙර අබුඩාබි නුවර ක්‍රිකට් ඇකඩමි පිලේ නායිකාව ලෙස කටයුතු කරමින් එරට විස්සයි20 තරගාවලියේදී සිය කණ්ඩායමට ශූරතාව දිනාගැනීමට විශිෂ්ඨ දායකත්වයක් ලබා දුන් චමනීට අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජාතික කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවිය. ඒ අනුව ජාත්‍යන්තර මට්ටමෙන් රටවල් දෙකක් නියෝජනය කිරීමේ විරල වාර්තාවට හිමිකම් කීමට ද ඇය සමත්වූවාය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල නියෝජනය කරමින්  විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වූ ඇය එම කණ්ඩායමේ උපනායිකාව ලෙස නම් කර තිබීම ද විශේෂත්වයක් විය.

 

Exit mobile version