රජ ගෙදරින් වුණු වෙනස්කම් ගැන හැරීගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක්

බ්‍රිතාන්‍ය රජ පවුල ලොව පුරා අත්කරගෙන තිබූ කීර්තිය, ගෞරවය ඔවුන්ගේ රාජකීය ඉතිහාසයේ අන් කවරදාකවක් මුහුණ නොදුන් තරමේ බරපතළ අර්බුදයකට මුහුණ දෙමින් රජ පවුලේ අභිමානය දෙදරා ගොස් තිබේ. ඒ රාජකීය වගකීම්වලින්‌ ඉවත්‌ වී සිය ඇමරිකානු බිරිඳ සමඟ අමරිකා එක්සත්‌ ජනපදයට ගොස් දරුවාත් සමග ජීවත්වන කිරුළ හිමි කුමරුව සිටි හැරී කුමරු සහ මේගන්‌ මාකල්‌ සහභාගි වූ සම්මුඛ සාකච්ඡාවක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් අනතුරුවයි. ‌ ඉමහත්‌ ආන්දෝලනයට ලක්වී තිබෙන මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණේ ලෝ සුපතළ රූපවාහිනී නිවේදිකාවක, රංගන ශිල්පිනියක සහ ලේඛිකාවක ද වන ඔප්රා ඔප්රා වින්ෆ්‍රි සමගයි.

සාකච්ඡාවට එක්වෙමින්‌ සසෙක්ස්‌ හි ආදිපාද මේගන්‌ කියූ කරුණුවලින් ඍජුවම රජ පවුලට එල්ල වූ බරපතළ චෝදනා දෙකක් ඇත. එනම් රජ පවුල තුළ තිබූ වර්ගවාදය සහ නොසළකා හැරීම පිළිබදව ය. සුදු ජාතික පියකුට මෙන්ම කළු ජාතික මවකට දාව උපන් අමෙරිකානු ජාතික තමා බ්‍රිතාන්‍ය රජ පවුලේ නොසැලකිලිකම්වලට මෙන්ම වර්ණභේදවාදයට මුහුණ දීමෙන් නොනැවතී සිය පළමු දරුවා ගැබ්ගත් අවස්ථාවේ සිටම දරුවාගේ හම තද පැහැ වීම සම්බන්ධයෙන් රජ පවුලේ චෝදනාවන්ට ලක්වූ හැටි ඇය මෙහිදී අනාවරණය කළාය. කේට්‌ ආර්යාව තමාගේ විවාහයට පෙර දිනයේදී ද සිත්‌ රිදවූ බවත්‌, ඇය මෙම රූපවාහිනී සංවාදයේදී පැවසුවාය.

39 හැවිරිදි මේගන්, තම මවගේ පාර්ශ්වයෙන් එන ජාන මත පුතාගේ සම පැහැය තද පැහැයක් වුවහොත් කුමක් වේද යන්න ගැන රාජකීයයන්ගේ “කනස්සල්ල” සම්බන්ධයෙන් දැඩි ලෙස බියවී සිටියාය. ඇගේ පුතු වන ආචීගේ පෙනුම පිළිබඳ රාජකීයයන්ගේ උනන්දුව ගැන මෙන්ම උපත ලැබීමට පෙර සිටම ඔහුට හිමිවිය යුතු ආරක්ෂාව පිළිබඳවද හැරී සිය බිරිඳට හෙළිදරව් කර තිබිණ. ආචි කුමරුන් උපත ලද්දේ 2019 මැයි මස 6 වැනිදාය.


රජ පවුලේ කෙනෙහිලිකම් හේතුවෙන් වරෙක තමාට දිවි හානි කර ගැනීමේ අදහසක්‌ ඇති වූ බව ද මේගන්‌ මාකල්‌ සඳහන්‌ කර තිබූ අතර සම්මුඛ සාකච්ඡාව අතරතුර මේගන් සහ හැරී දෙදෙනාම ඉතා සංවේදී වූ බව දක්නට ලැබේ.

හැරී කුමරු ද සිය පියා වන චාල්ස්‌ සමඟ පවතින විරසකය පිළිබදව මෙහිදී අනාවරණ කරමින් කියා සිටියේ තමා රාජකීය වගකීම්වලින්‌ ඉවත්වීමට තීරණය කිරීමත්‌ සමඟ ඔහු තමාගේ දුරකථන ඇමතුම්වලට පවා පිළිතුරු නොදුන්‌ බව ය.

හැරී කුමරු වැඩිදුරටත්‌ කියාසිටියේ සිය මව වන ඩයනා කුමරියට සිදුවූ ඉරණම සිහිපත්‌ කරමින්‌ ඉතිහාසය වඩාත්‌ දරුණු ලෙස පුනරාවර්ථනය වන
බවයි.

රාජකීය ජීවිතයෙන් නිල වශයෙන් ඉවත්වීම පිළිබද පැහැදිලි කරමින් මේගන් පෙන්වා දෙන්නේ රජ පවුලේ වර්ණවාදය සහ කෙනෙහිලිකම් හේතුවෙන් තමන් මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතරතුරදී ඇයට කිසිවකුගේ උදව් නොලැබුණු බවය. තමන්ව බොරු චෝදනාවල ඉලක්කය වූ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජකීය යුවළ උතුරු ඇමරිකාවට පදිංචියට යාමේ තීරණයෙන් පසු මේගන් මේකල් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පුවත්පත්වල විවිධ ආකාරයෙන් ඇය පිළිබද වාර්තා පළ කෙරිණ. එම වාර්තා මගින් වැඩිවශයෙන් චෝදනා කර තිබුණේ හැරී කුමරු සහ බිරිඳ සිය පුතුද රැගෙන ඇමරිකාවට යාම නොසැලකිලිමත් හා ආත්මාර්ථකාමී තීරණයක් ලෙසිනි.

Exit mobile version