යෝෂිත රාජපක්ෂ පක්ෂයේ ජාතික සංවිධායකවරයාගේ සහෝදරයා සහ පක්ෂ නායකයාගේ පුත්‍රයා වුවද, ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් අද ( 24) පැවති මාධ්‍ය හමුවක් අතර විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැහැදිලි කළේය.
ලේකම්වරයා මේ ප්‍රකාශය කරන්නේ පෙරේදා (22) අළුයම යෝෂිත රාජපක්ෂ සමග පැමිණි බව කියන පිරිසක් යුනියන් පෙදෙස පාර්ක් වීදියේ රාත්‍රී සමාජ ශාලාවක ඇති කරගත් ගැටුම සම්බන්ධව සමාජය තුළ පැන නැගී ඇති ආන්දෝලනාත්මක පරිසරය අතරය.
මෙහිදි සාගර කාරියවස්ම පැහැදිලි කර ඇත්තේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති බවය. නමුත් ඒ කිසිදු අවස්ථාවක යෝෂිත රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොමැති ආකාරය තහවුරු වී ඇති බවය.
රෝහිත රාජපක්ෂගේ සිද්ධියට ඇති එකම සම්බන්ධය වන්නේ ගැටුම සිදුවීමට ටික වේලාවකට පෙර ඔහු එම ස්ථානයේ සිටි බව සඳහන් කරමින් පුද්ගලයෙකු විසින් ලබා දුන් කටඋත්තරයක් පමණක් බවත් ඉන් එපිට කිසිම සම්බන්ධයක් ඔහු මේ සිද්ධියට නැති බවත් සාගර කාරියවසම් අවධාරණය කරන්නේය.
යමෙකු ස්ථානයකින් පිටව ගිය පසු ඇතිවන ගැටුමක් සම්බන්ධව එම පුද්ගලයාගේ නම සම්බන්ධ කිරීම ඔහුට මෙන්ම ඔහු වටා සිටින පිරිසටත්, එම පිරිස සම්බන්ධ දේශපාලන පක්ෂයටත් ගැටලු ඇති කරන ආකාරය සම්බන්ධව මහලේකම්වරයා සිය කණස්සල්ල පල කරමින් අවධාරණය කරන්නේ රට තුළ එවැනි තත්වයන් ඇති නොවිය යුතු බවය.







