යළි කොළඹ යට නොවේ…! කොළඹ වැසිජලයෙන් යටවීම වළක්වන ව්‍යාපෘති 05ක වැඩ අවසන්…

කොළඹ අගනගරය ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැස්ස හේතුවෙන් එකතුවන ජලය නිසා ඇතිවන ජල ගැලීමෙන් යටවෙන කොළඹ නගරය මුදාගැනීම සඳහා ක්‍රියාත්මක කෙරුණු මරදානේ සාන්ත සෙබස්තියන් දකුණු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය, සාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය, කොළොන්නාව කළු පාලම ඇළ මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය, ගොතටුව ඇළ මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය සහ අඹතලේ ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය යන උප ව්‍යාපෘති පහේ වැඩ අවසන් වී ඇති බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

වසර ගණනාවක් තිස්සේ පැවති වැසි ජලයෙන් කොළඹ යටවීම පිළිබඳව සිදුකළ සාර්ථක ප්‍රායෝගික පර්යේෂණවලින් පසුව ක්‍රියාත්මක කළ මෙම උප ව්‍යාපෘති පහ මඟින්, වැසි ජලයෙන් සිදුවන ජල ගැලීම් ඉතා සාර්ථක ලෙස පාලනය වූ බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ. ඩබ්ලිව්. තුෂාරි පවසයි.

වැසි ජලය පාලනය කෙරෙන මෙම පොම්පාගාර, අති නවීන විද්‍යාත්මක තාක්ෂණයෙන් සමන්විත වන බව පෙන්වා දෙන ව්‍යාපෘති අධ්‍යක්ෂවරිය, සෑම පොම්පාගාරයක් ම පාලන මැදිරියකින්, පැනල් රූම් එකකින්, පම්පින් රූම් එකකින්, ඉන්ලෙට් හා අවුට්ලෙට් කාමර දෙකකින් සමන්විත බව ද වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



කොළඹ අග නගර ප්‍රදේශවලට ඇතිවන අධික වැසි හේතුවෙන් හටහන්නා ජල ගැලීම් මත සිදුවන පාරිසරික මෙන්ම සමාජයීය බලපෑම් අවම කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, එම සේවා පහසුකම් සැපයීම සහ පළාත් පාලන ආයතනවල සේවාවන් දියුණු කිරීමට සහාය වීම මෙහි ප්‍රධාන අරමුණු ලෙස දක්වා තිබේ.
ඉතා කඩිනමින් සහ ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කෙරුණු මෙහි වැඩ කටයුතු, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ අයහපත් කාලගුණ තත්ත්වයන් මත යම් තරමකින් ප්‍රමාද වී තිබිණ.

ඒ අනුව 2018 ජුනි මාසයේ වැඩ නිමවීමට තිබූ ඇතැම් ව්‍යාපෘති 2021 වසරේ අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ.
කොළඹ අගනගර වැසි ජලය පාලනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා සමස්ත ආයෝජනය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 321 ක් වෙන්කර ඇති අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 213 ක් ලෝක බැංකු සහනදායි ණය පදනම මත ලබා දී තිබේ. එයට අමතරව ශ්‍රී ලංකා රජය ද ඇමරිකානු ඩොලර් මිලියන 108 ක් ආයෝජනය කර ඇත.

Exit mobile version