යලේ අස්වනු නෙලන්න ඩීසල් ලීටර මිලියන 20ක් අවශ්‍යයයි… ඉන්ධන ගැන නොසිතා හමුදාවත් එක්ක දෑකැති ලෑස්ති කරගනිමු – කෘෂිකර්ම ලේකම්

යල කන්නයේ අස්වනු කැපීම සඳහා ජූලි සිට ඔක්තෝම්බර් මස දෙවන සතිය අතර කාලයේදී ඩීසල් ලීටර් මිලියන 20 ක් අවශ්‍යය බවත් මෙය බවුසර් වශයෙන් ගතහොත් 3030 ක් බවත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

ඩීසල් නොමැති බව කියා ගොයම් කැපීම ප්‍රමාද කළ නොහැකි බවත් මේ නිසා ඩීසල් අර්බුදයක් මතුවුවහොත් ගොයම් කැපීමට යුද හමුදාව ඇතුළු සියලු කණ්ඩායම් වල සහය ලබා ගැනීමට සිදුවන බවත් ඔහු පවසයි.

මේවන විට ගොයම් කැපීම 98% ක්ම කරන්නේ යන්ත්‍ර ආධාරයෙන් බව පවසන කෘෂිකර්ම ලේකම්වරයා   අක්කරයක කුඹුරක් කැපීමට ඩීසල් ලීටර් 20 ක් අවශ්‍යය බව පෙන්වා දෙයි.

ඒ අනුව දැනට වගාකර තිබෙන අක්කර දස ලක්ෂයක ප්‍රමාණය කැපීමට ඩීසල් ලීටර් මිලියන 20 ක් අවශ්‍යය බවද  හේ පවසයි..


මෙම ඉන්ධන අවශ්‍යතාව සම්බන්ධව ජනාධිපතිවරයාට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්වත් කර තිබෙන බවද ඒ මහතා කීය.

කුමන හෝ හේතුවක් නිසා මෙම ඉන්ධන නොලැබුණහොත් ගොයම් කැපීමට යුද හමුදාවේ සහය ඉල්ලා තිබෙන බවත් මෙයට අමතරව දෑ කැති සකස් කිරීම සහ  ගොයම් කැපීමට හැකි කණ්ඩායම් දැන් සිටම සූදානම් කිරීම සම්බන්ධව දිසාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවත්  ලේකම්වරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 473000 ක් වගා කර තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරන බවත් අර්බුදය නොමැති කාලයේ හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 4.5 ක් ලබාගත් බවත් ලේකම්වරයා පසුගිය කාලයේ එය මෙට්‍රික් ටොන් 2.8 පමණ දක්වා අඩුවූ බවද අවධාරණය කළේය.

Exit mobile version