මෛත්‍රීගේ ගෙවල් ප්‍රශ්නය විසඳා ගැනීමට ශ්‍රීලනිපය ආණ්ඩුව සමග සාකච්ඡාවකට සැරසෙයි…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිවස සම්බන්ධව පැන නැගී ඇති ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා රජය සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස්පක්ෂය සූදානම් වෙමින් සිටී.

මේ සම්බන්ධව කළ විමසීමක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට රටේ නීති ප්‍රකාරවම නිවසක් හිමිවිය යුතු බවය.

“ ඔහුට හිටපු ජනාධිපතිවරයෙක් වශයෙන් නිශ්චිත කාර්ය භාර්යයක් තියනවා කරන්න. පොලොන්නරුවෙ ඉඳගෙන ඒ කටයුත්ත කරන්න බෑ. ඔහුගේ නිල නිවාසය සම්බන්ධව පැන නැගී ඇති ප්‍රශ්නය නිරාකරණය කරගන්න අපි අද සිටම පියවර අරන් තිබෙනවා.“  මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.


ජනාධිපතිවරයින් විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ඇතුළත් ගැසට් පත්‍රයට අත්සන් තැබුවේ 1986 වසරේ පෙබරවාරි මස 18 වන දාය. එය එම වසරේ පෙබරවාරි මස 21 වන දා නිකුත් කෙරිණි.

‘1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත’ට අනුව,  “සෑම හිටපු ජනාධිපතිවරයෙකුට ම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.”

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස ලබා දිය යුතු බවය.

මෙම පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකු අභාවයට පත් වුවහොත් හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නිවස බිරිදට හෝ සැමියාට ඔවුන් ජීවත් වන තුරු ලබා දිය යුතුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ නිවාස   සින්නක්කරව ලබා දීමක් නොවේ.

Exit mobile version