මෙරටට එන මගීන් පැය දෙකක් ඇතුළත කටුනායකින් එළියට

රාජ්‍ය ඇමතිනියට ගුවන් තොටුපළ බලධාරීන්ගෙන් සහතිකයක්

කොවිඩ් 19 තත්වය හමුවේ මෙරටට පැමිණෙන ගුවන්මගියෙකු පැය දෙකක් තුළ ගුවන්තොටුපොළ තුළ සියලු කටයුතු අවසන් කර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකිරීමට කටයුතු කරන බව ගුවන්තොටුපොළ බලධාරීහු අද ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග පාලනය සහ කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශණී පුනාන්දු පුල්ලේ මහත්මිය වෙත පැවසූහ.

කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදවත්, ඉදිරියේදී සංචාරකයින් මෙරටට ඇතුළුවීමේදී සහ සාමාන්‍ය ගුවන්සේවා ආරම්භ කිරීමේදී අනුගමනය කෙරෙන සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදවත් සොයා බැලීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේදී ඔවුහු මේ බව පැවසූහ.

නිරීක්ෂණ කටයුතු අවසානයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරිය සඳහන් කළේ කොවිඩ් 19 පාලනය කිරීම සදහා ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයත්, ආරක්ෂක අංශත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව තමන් සෑහීමකට පත්වන බවත් ඔවුන් කරන කාර්ය භාර්ය පිළිබදව සිය ස්තුතියත් මෙහිදී පුදකරන බවයි.


ගුවන් මගීන් මෙරටට ඇතුළු වීමේදී සහ මෙරටින් පිටවීමේදී ගුවන්තොටුපොළේදී අනුගමනය කෙරෙන සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදව දැඩි නිරීක්ෂණයට ලක්කල රාජ්‍ය අමාත්‍යවරිය එය ප්‍රායෝගිකව සිදුවන ආකාරයත් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ ඒ සදහා කැපවන ආකාරයත් නිරීක්ෂණය කළාය. ගුවන්මගීන් ගුවන්තොටුපොළේ ගැවසෙන සියළු ස්ථාන පරීක්ෂාවට ලක්කල රාජ්‍ය අමාත්‍යවරිය වෙන් වෙන් වශයෙන් එක් එක් ස්ථානවල ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදවත් ගුවන් මගීන්ට ලබාදෙන සෞඛ්‍ය පහසුකම්, සන්නිවේදන පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබදවත් මෙහිදී විමසා බැලීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ගුවන්තොටුපොළ කළමනාකරු ජී.කේ.ඩී.සී.ඩී සමරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.

Exit mobile version