මුස‍්ලිම් සිද්ධස්ථානයක්ව පැවති ඓතිහාසික කූරගල පුද බිම අද සිට යළි බොදුනුවන්ට

දශක කිහිපයක් මුස්ලිම් ප්‍රජාව විසින් අත්පත් කරගෙන තිබුණු ක්‍රිස්තු  පූර්ව යුගයේ සිට පැවත එන ආරමික භූමියක් මෙන්ම ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ස්ථානයක් වූ කූරගල පුදබිම යළි බෞද්ධ සිද්ධස්ථානයක් බවට පරිවරතනය කිරීමෙන් පසු මැදින් මස පුර පසළොස්වක පොහොය යෙදෙන අද (28) දින ප්‍රථම වරට ආගමික වතාවත්   සිදු කිරීමට නියමිතය.

මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් සේ මේ ලෙන් භූමිය පැවතුන වකවානුවේ එහි සිදුවූ බිලි පූජා වැනි ක්‍රියාවලීන්ට බෞද්ධ සමාජයේ දැඩි විරෝධයක් මතුවුනේය. කෙසේ වෙතත් ඉතා ක්‍රමානුකූලව මෙම භූමියේ ඓතිහාසික උරුමය ආරක්ෂාවන පරිදි මෙන්ම ජාතීන් අරත විසංවාදයක් ඇති නොවන පරිදි සංස්කෘතික හිමිකම් හුවමාරුවක් සිදුවූ අතර පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් පැහැදිලි කර තිබුණේ මේ බිමේ ඓතිහාසික උරුමය ප්‍රකාශිත සාධකවලට මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක්ව පැවති  වකවානුවේ විශාල  හානියක් වී නොතිබුණු බවය.

එමෙන්ම ඓතිහාසික බෞද්ධ උරුමයකටත් එපිටින්වන ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයක් සහිත විශ්වීය වැදගතක්මක් සහිත පුරාවිද්‍යා ස්ථානයක් බව තහවුරු කරන පුරාවිද්‍යා සාධක මෙහි කැණීම්වලින් මතු වූ අතර එම සාධක විතැන් වී කර නොතිබුණු බව ද වාර්තා විය.


මේ වනවිට බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් සේ මේ භූමිය ගොඩනගන්නට කරන උත්සාහයේ දී මේ විශ්වීය වටිනාකම් ආරක්ෂා කරගෙන ඉතාම සැලසුම් සහගතව එය සිදුවිය යුතු බවත්,  මේ භූමිය භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ වැඩවාසය කළ ලෙන් ආරාම සංකීර්ණයක් හෙයින් එහි අනන්‍යතාවය ආරක්ෂා විය යුතු බවත් පුරාවිද්‍යා ප්‍රමාණිකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් අද මේ භූමියේ නව චෛත්‍යයක් ඉදි කිරීම සඳහා මුල් ගල තැබීමට නියමිතව ඇත.

ඓතිහාසික කූරගල පුජා භුමිය මේ වනවිට    නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේ  වෙත පවරා ඇතැයි වාර්තා වේ. උන්වහන්සේ කීවේ වසර ගණනාවක් පුරා මුස්ලිම් ජනතාව විසින් මහරහතුන් වහන්සේලා වැඩ සිටි කූරගල පුදබිමේ ගල් ලෙන් තුල ආගමික ස්ථාන ඉදිකරමින් සිටි බවය. දැන්  තම මග පෙන්වීම යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් එම වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ද සිදුකරමින් ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව අද පස්වරුවේ ‘අසදිසි ශාක්‍ය සුගත මහා සෑය‘ නමින්   නව චෛත්‍යයක් ඉදිකිරීමට මුල්ගල තැබීමට කටයුතු යොදා ඇති  බව උන්වහන්සේ පවසති.

Exit mobile version