මුදල් ඇමති කොවිඩ් පාලනයට අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර නෑ…. බජට් නැතිව ණයට දුවන  කොවිඩ් වැඩේ ගැන  පී.බී හෙළි කරයි….

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ   විසින් ඉදිරිපත් කරන ලද 2021 වසර සඳහා වූ අයවැයෙන් කොවිඩ් පාලනය සඳහා මුදලක් වෙන් කර නැති බවත් මෙම වසරේ එන්නත් මිලදී ගැනීමට කොවිඩ් පරීක්ෂණ සහ ඔක්සිජන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ත් 550ත් අතර මුදලක් වැය වනු ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර  පවසයි.

“ද එකොනොමි නෙක්ස්ට්“ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආචාර්ය ජයසුන්දර පවසන්නේ මෙම මුදලින් සියයට 80කට වඩා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවය.

යුරෝපා රටවල් එන්නත්කරණය මඟින් කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කර තිබූ බවත් වසංගතය වේගයෙන් හිස එසවීමත් සමග ශ්‍රි ලංකාවටද අප්‍රියෙල් මාසයෙන් පසුව  එන්නත් මිලදී ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන්නට සිදුවූ බවත් කී ලේකම්වරයා  ඒ සඳහා විශාල මුදලක් වැයවූ බව පෙන්වා දුන්නේය.


ලෝක බැංකුව විසින් මේ වනවිට කොවිඩ් පාලනය සඳහා ඩොලර් මිලියන 217ක් සපයනු ලැබ ඇති අතර ජනාධිපකි ලේකම්වරයා පවසන්නේ තවත් අතිරේක ඩොලර් මිලියන 100ක් එම බැංකුවෙන් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවය.

එසේම ආසියානු සංවර්ධන බැංකුවද ඩොලර් මිලියන 150ක් කොවිඩ් මර්දනය සඳහා ලබා දීමට එකඟව ඇත.

මේ වනවිට රජය එන්නත් සඳහා වැඩිම මුදල් වැය කර ඇත්තේ චීනයෙන් සයිනෝෆාම් මිලදී ගැනීමය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පීසීආර්, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ, රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ දැඩි සත්කාර ඒකකවල ට අවශ්‍ය ඖෂධ සහ උපකරණ වියදම්, ඔක්සිජන්, කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන සඳහා මෙලෙස විශාල මුදලක් වැය කරන්නට සිදුව ඇති  බවද ආචාර්ය පී.බී ජයසුන්දර විසින් පෙන්වා දෙනු ලැබ ඇත

Exit mobile version