මින්පසු අවුරුදු 16 අඩු අයට රැකියා බැහැ.

මෙරට අනිවාර්ය අධ්‍යාපනය වයස අවුරුදු 16 දක්වා වැඩි කිරීමට රජය ගත් තීරණය සමඟ මෙරට පුද්ගලයෙකු රැකියාවකට බඳවා ගැනීමේ වයස ද අවුරුදු 16 දක්වා ඉහළ නැන්වෙන බවත්, මේ බව සාධනය කරන මෙරට කම්කරු ක්ෂේත්‍රයට අදාළ  පනත් හතරක සංශෝධන හෙට (5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා අනුමැතියට යටත් කළ ලෝක කම්කරු සංවිධානයේ ළමා ශ්‍රමය පිටුදැකීම සඳහා වන ප්‍රඥප්තීන්ට අනුකූලව යමින් මෙම පනත් සංශෝධන ගෙන එනු ලබන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඒ අනුව 1954 අංක 19 දරණ  සාප්පු හා කාර්යාල සේවක පනත, 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත, 1956 අංක 47 ස්ත්‍රීන්, තරුණයින් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත සහ 1927 අංක 27  අවම වේතන වැටුප් ඉන්දියානු කම්කරු(සංශෝධන) පනත යන පනත් හතර අනිවාර්ය අධ්‍යාපන වයසට සමගාමීව සංශෝධන කිරීමට නියමිතය. මෙම පනත් සංශෝධනයෙන් පසුව වයස අවුරුදු 16 අඩු කිසිම අයෙකු කිසිදු රැකියාවක නියුතු කරවීම නීති විරෝධි වනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් වයස අවුරුදු 13ට අඩු ළමයෙකු පාසල ආරම්භ වීමට පෙර හෝ අවසන් වීමෙන් පසු හෝ සිය දෙමව්පියන්ගේ හෝ පවුලේ කෘෂිකාර්මික ව්‍යාපාර කටයුතුවලට සහභාගි වීම සහ අධ්‍යාපන ආයතනයක හෝ පුණ්‍යාධාර කටයුතු සඳහා සංවිධානය කරනු ලබන යම් කිසි ව්‍යාපාරික ක්‍රියාවලියකට සහභාගි වීම සංශෝධනයෙන් වැළැක්වීමක් සිදුවන්නේ නැතැයි අමාත්‍යවරයා පෙන්වා  දෙයි.

Exit mobile version