මැතිවරණයක් ලබා ගැනීමට වීදි සටන් ආරම්භ කරනවා… විපක්ෂ නායක කියයි!

ජනතා ඉල්ලුම අලුත් මැතිවරණයක් තුළින් අලුත් ආණ්ඩුවක් බවත්  ඒ සඳහා මැතිවරණයක් ලබා ගැනීමට නිදහස් සාමාකාමී ප්‍රජාතන්ත්‍රවාදී වීදී සටන් අරඹන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   පැවසුවේය.

මේ වනවිට සූදානම් කරමින් සිටින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජන මත විචාරණ පැවැත්වීම මැතිවරණ කල්දැමීමේ උප්පරවැට්ටියක්  බව  පැහැදිලි යැයිද යළිත් ජන රැල්ලක් නිර්මාණය වී ජනතාව පාරට බහින දිනය වැඩි ඈතක නොවන්නේ යැයිද විපක්ෂ නායකවරයා   කීවේය

අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු අද (12) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායක ප්‍රේමදාස  මේ බව පැවසුවේය.

එහදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කලේ  පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කරන බව ජනපතිවරයා ප්‍රකාශ කර ඇතත්   ප්‍රශ්නය තිබෙන්නේ සභික සංඛ්‍යාව මත නොව පත්වූ අය ප්‍රශස්ත සේවයක් කරනවාද නැද්ද යන කාරණය මත බවය.


විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කරුණු දක්වමින්   කීවේ  ශ්‍රී ලංකාව අඩු ආදායම් ලාභි රටක් ලෙස ප්‍රකාශ කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරන්නට යන බවත් ලෝකයේ කිසිදු රටක කැබිනට් මණ්ඩලයක් එලෙස ක්‍රියාකර නොමැති බවත්ය.

රටක් පවතින්නේ අඩු ආදායම් තත්ත්වයේදී මැදි ආදායම් තත්ත්වයේද නැතහොත් ඉහළ ආදායම් තත්ත්වයේද යන්න ප්‍රකාශයට පත් කිරීම සඳහා වන ශ්‍රේනිගත කිරීම් කරනු ලබන්නේ මූල්‍ය ආයතන මිස කැබිනට් මණ්ඩලය නොවන බවද ඔහු පෙන්වා දුන්නේය..

රට අඩු ආදායම් බව ලෝකයට ප්‍රකාශ කරන ආකාරයේ විහිළු සපයන ආණ්ඩුවක් දැන් රට තුළ ක්‍රියාත්මක බවත් රටක් ආර්ථික අතින් කඩාවැටී බංකොලොත් භාවයට පත්ව තිබියදී ජත්‍යන්තරයෙන් ලබාගත හැකි සහන ලබා ගැනීමටවත් වත්මන් ආණ්ඩුවට ප්‍රඥාව නොමැති බවත් හෙතෙම කීවේය.

ජනපති හා මහින්ද රාජපක්ෂ   ප්‍රමුඛ කණ්ඩායම එකට එකතුවීම සමගි ජනබලවේගයට අභියෝගයක් නොවූවත් ජනතාවගේ පැවැත්මට එය බරපතල අභියෝගයක් බවද ඔහු පැවසුවේය.

රට ආර්ථික අතින් අගාධයට ඇද දැමූ මෙම කණ්ඩායමේ දේශපාලන පණ හැරීමට ජනතාව මැතිවරණයක් එනතුරු බලා සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නව ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍යය බවත් රට විනාශ කළ කණ්ඩායමට එවැනි ප්‍රතිසංස්කරණ කළ නොහැකි බවත් කී ඒ මහතා මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් යටතේ නව ප්‍රතිසංස්කරණ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසුවේය.

Exit mobile version