මාසයක් දෙන්නම්… හරි උත්තරයක් දෙන්න… කාදිනල් තුමා ජනපතිට යැවූ සම්පූර්ණ ලිපිය…

විකල්ප සොයා යෑම තෙක් අපව තල්ලු කරන්න එපා... කාදිනල් හිමි ඇතුළු කතෝලික පියතුමන්ලා ජනපතිට ලිඛිතව දන්වති...

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් පල්ලිය විසින් මතු කර ඇති සියලුම ප්‍රශ්නවලට විශ්වසනීය පිළිතුරක් මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන ලෙසත් එසේ අපොහොසත් වුවහොත් විකල්ප ක්‍රියාමාර්ග වෙත එළඹීමට සිදුවන බවත් දන්වා මැල්කම් කාදිනල් රන්ජිත් කොළඹ අගරදගුරු තුමා ඇතුළු කතෝලික සභාවේ ප්‍රධානම පූජකවරු පිරිසක් අත්සන් කරන ලද ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද යොමු කර තිබේ.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමා ඇතුළු , කොළඹ සහකාර රදගුරුවරුන් වන ජේ.ඇන්තනි ජයකොඩි, ඇන්තන් රන්ජිත්, මැක්ස්වෙල් සිල්බා, හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස්, රදගුරු ඇන්තනි පෙරේරා, රදගුරු රෙයිමන්ඩ් වික්‍රමසිංහ ඇතුළු පූජකවරු පිරිසක් මෙම ලිපියට අත්සන් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“සත්‍යය සහ යුක්තිය රජය විසින් සතුටුදායක අයුරින් සහතික කළ නොහැකි නම් සහ ගැටලුව මතුපිටින් විසඳා ගත නොහැකි නම්, විකල්ප මාර්ග ඔස්සේ ඒ සඳහා ක්‍රියා කිරීමට අපට බල කෙරෙනු ඇති බව අපි ඔබට දන්වන්නෙමු. මෙම අභියාචනයෙන් අවම වශයෙන් මාසයක් ඇතුළත ඔබ මේ පිළිබඳව කඩිනමින් කටයුතු කර විශ්වසනීය පිළිතුරක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු, ” යැයි රදගුරුවරුන් සහ පූජකවරුන් අත්සන් කළ එම ලිපියේ දක්වා තිබේ.
එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය සිදුවී මේ වන විට මාස 26ක් ගත වී තිබේ. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව නිකුත් වී මාස 5කට ආසන්න කාලයක් ගත වී ඇත. නමුත් මේ ප්‍රහාරයට වගකිව යුත්තන්, එය සැලසුම් කළ පුද්ගලයන් එම සමූල ඝාතනය වළක්වා ගත හැකිව තිබියදීත් තම වගකීම් පැහැර හැරියවුන් නිසියාකාරයෙන් සොයා, ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමේ ක්‍රියාවලිය මේ වනතුරුත් බොහෝ දුරට මන්දගාමීව සිදුවීම පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල පළමුව ප්‍රකාශ කර සිටිමු.

ජනතා මුදල් රුපියල් මිලියන ගණනාවක් වියදම් කොට ක්‍රියාත්මක කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම පමා කරන්නෙද, අතපසු කරන්නේද කුමන කරුණක් නිසාදැයි ප්‍රශ්නයක් මෙහිදී මතු වේ. එහෙයින්, පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමුකොට අගතියට පත් අයට යුක්තිය ඉටුකරලීම කඩිනම් කරන මෙන් අපි ඉල්ලා සිටිමු.

අ) ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම:

ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 19 වන පරිච්ඡේදය නම් කොට ඇත්තේ ‘වගවීම’ ලෙසය. එම පරිච්ඡේදය ආරම්භ වන්නේ මෙසේය. ‘2019 අප්‍රේල් 21 වන දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වගකිව යුතු සියලු බලධාරීන් හඳුනාගැනීමත් සිය රාජකාරි ඉටුකිරීමට අපොහොසත් වූ සහ නොහැකියාව හේතුවෙන් නිසි පියවර නොගත් බලධාරීන් හඳුනාගැනීමත් පරීක්ෂණ කොමිෂන් සභාව පිහිටුවන ලද නියෝග මගින් ඉල්ලා සිටී.’

‘මෙම පරිච්ඡේදයේදී පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ත්‍රස්තවාදී ප්‍රහාර වැළැක්වීමට දේශපාලන නායකත්වයේ සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ අසමත්කම විමසා බලයි.’ (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව, පළමු වෙළුම 272 පිටුව)

ඒ අතරින් දේශපාලන නායකත්වය දැරූ දෙදෙනකු වෙති.

1. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මා

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව 2019 අප්‍රේල් 19 දිනට පෙර සිදුවූ සිද්ධීන් පිළිබඳ සාක්ෂි සැලකිල්ලට ගනිමින් කොමිෂන් සභාව විසින්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මා පිළිබඳව ඉදිරිපත් කරන විමර්ශනය මෙසේය.

‘2019 අප්‍රේල් 4 වන දිනට පෙර කරුණු පිළිබඳ සාක්ෂි සලකා බැලීමේදී ජනාධිපති සිරිසේන සිය රාජකාරි හා වගකීම් පැහැර හැර ඇති බවත්, මෙම අසාර්ථකත්වය හුදෙක් සිවිල් නොසැලිකිමත්කම ඉක්මවා යන බවත් පරීක්ෂණ කොමිෂන් සභාවෙහි අදහසයි.’ (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව, පළමු වෙළුම 293 පිටුව)

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සිදුවූ සිද්ධීන් පිළිබඳව ලැබුණු සාක්ෂි ද විමසීමෙන් අනතුරුව කොමිෂන් සභාව පහත සඳහන් නිර්දේශය ඉදිරිපත් කරයි.

‘සාක්ෂි මත පදනම්ව, ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවේ අදහසයි. දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ජනාධිපති සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවැරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිසන් සභාව නිර්දේශ කරයි.’ (ජනාධිපති කොමිෂන් සභා අවසාන වාර්තාව, පළමු වෙළුම 295 පිටුව)

අප දන්නා පරිදි කොමිෂන් සභාවේ ඉහත කී නිර්දේශ පිළිබඳව අදාළ රජයේ බළධාරීන් විසින් මේ දක්වා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. අඩු වශයෙන්. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කටයුතු ආරම්භ කිරීමටවත් ගෙවීගිය මාස 5ක කාලය හොඳටම ප්‍රමාණවත් යැයි අපි විශ්වාස කරමු.

2. අගමැති රනිල් වික්‍රමසිංහ

අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මා පිළිබඳව පාස්කු ප්‍රහාරයට අදාළව කොමිෂන් සභාව ඉදිරියේ ඉදිරිපත් වූ සාක්ෂි විමර්ශනයෙන් (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව, පළමු වෙළුම 295-308 පිටු) අනතුරුව කොමිෂන් සභාව දක්වා ඇති නිරීක්ෂණය පහතින් දක්වමු.

‘සාක්ෂි සලකා බැලීමේදී අග්‍රාමාත්‍යවරයා ලෙස වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් ප්‍රවේශය එවකට රජය ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත් වීමට එක් ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ කොමිෂන් සභාවෙහි මතයයි. ඉස්ලාම් අන්තවාදය, පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැගීමට මෙය පහසුකම් සපයයි.’ (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව පළමු වෙළුම, 308 පිටුව)

රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැතිතුමන් ලෙස දක්වා ඇති මෙම ලිහිල් ප්‍රවේශය ලාමක වගකීම් පැහැර හැරීමක් බව අපගේ විශ්වාසයයි. එසේ තිබියදී කොමිෂන් සභාව අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මා අරබයා කිසිඳු නිර්දේශයක් ඉදිරිපත් කොට නැත්තේ කුමන කාරණයක් පාදක කොටගෙන දැයි අපට ප්‍රහේලිකාවකි. එහෙත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කළ යුතුය යන්න අපගේ මතයයි. එදා 19 වන සංශෝධනය තුළ විශේෂ බලතල හෙබවූ එතුමා එම වගකීම ලිහිල්ව වටහා ගැනීම බරපතළ වරදක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඉහත කී දේශපාලනඥයන්ට අමතරව පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම අරබයා රාජ්‍ය නිලධාරීන් තිදෙනකු සිය වගකීම් පැහැර හැර ඇති බව කොමිෂන් සභාව විසින් සිය අවසන් වාර්තාවේ දක්වා තිබේ.

1. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

2. සිසිර මැන්දිස් මහතා, ප්‍රධානී ජාතික බුද්ධි සේවය

3. නිලන්ත ජයවර්ධන මහතා, අධ්‍යක්ෂ, ජාතික බුද්ධි සේවය

මේ අතරින් ආරක්ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහත්මා පිළිබඳව නීතිමය කටයුතු ක්‍රියාත්මක වී ඇති බව අපි දනිමු. අනෙක් දෙදෙනා පිළිබඳව කොමිෂන් සභාවේ නිර්දේශ පහත සඳහන් පරිදිය.

සිසිර මැන්දිස් මහතා

‘සාක්ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවේ අදහසයි. දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ සිසිර මෙන්ඩිස් මහතාට එරෙහිව අපරාධ නඩු පැවැරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.’ (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව, පළමු වෙළුම 316-317 පිටු)

නිලන්ත ජයවර්ධන මහතා, අධ්‍යක්ෂ, රාජ්‍ය බුද්ධි සේවය

‘සාක්ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවෙහි අදහසයි. එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.’ (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව, පළමු වෙළුම 319-320 පිටුව)

ජනාධිපති කොමිෂන් සභාව එසේ නිර්දේශ කර ඇතත් එම නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට මේ දක්වා කිසිඳු පියවරක් ගෙන නොතිබීම පමණක් නොව, ඔවුනට උසස්වීම් ලාබදී තිබීමද අපට පිළිගත නොහැකි මෙන්ම නීතිය අවඥාවට ලක්කිරීමේ තත්ත්වයකි. එය මේ ප්‍රහාරවලින් මියගිය හා ආබාධිතයන් බවට පත්වූ අයට ද එම වින්දිතයන්ගේ පවුල්වලට ද දක්වන අගෞරවයකි. අමානුෂික නොසලකා හැරීමකි.

ආ. ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ 20 වන පරිච්ඡේදය නම් කොට ඇත්තේ නීතිය ‘බලාත්මක කරන බලධාරීන්ගේ අතින් සිදුවූ අතපසු වීම්’ ලෙසයි. ඒ යටතේ පහත සඳහන් නිලධාරීන් නම්කොට, නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර

ඔහු පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව අපි දනිමු.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, එවකට බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, කොළඹ උතුර, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර (කොළඹ උතුරු කොට්ඨාසය), ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරල, එස්.පී.බී.ඊ.අයි. ප්‍රසන්න, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය,නියෝජ්‍ය පොලිස් අධිකාරි සිසිල කුමාර, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.සරත් කුමාරසිංහ, වැඩබලන පොලිස් ස්ථානාධිපති කොටුව, ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.සාගර විලේගොඩ ලියනගේ, ස්ථානාධිපති කොටුව, චමින්ද සෙනෙවිරත්න, පොලිස් ස්ථානාධිපති (කටාන),

යන නිලධාරීන්ගේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීම හා නඩු පැවරීමට සලකාබැලීම යන නිර්දේශ කර ඇත.

රජයේ නීතිඥ අසීස් මහත්මා සහ අසාද් නවාවී මහතා (නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්) සම්බන්ධයෙන්ද විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර තිබේ.

එමෙන්ම එම්.එල්ඒ.එම්. හිස්බුල්ලා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරිපත් වූ සමස්ත සාක්ෂි සහ නිර්දේශද පදනම් කරගෙන ඔහු සම්බන්ධයෙන් වැඩිදුරටත පරීක්ෂණ පැවැත්විය යුතුය යන්නය.

ඈ) පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභා නිර්දේශයන්ට අමතරව පහත සඳහන් කරුණු කෙරෙහිද ඔබතුමන්ගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිවූ නමුත් තවමත් අබිරහසක්ව ඇති කරුණු කිහිපයක්,

01. කටුවපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තුන්ගේ බිරිඳ වන පුලස්තිනි රාජේන්ද්‍රන් හෙවත් සාරා නමැත්තිය පිළිබඳ තොරතුරු තවමත් අබිරහසක්ව පවතී.

මේ පිළිබඳව පාස්කු කොමිසමේ අවසාන වාර්තාවේ පළමු වෙළුම මෙසේ සඳහන් කරයි.

‘‘පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සාරා ජීවතුන් අතර සිටි බවට සාක්ෂි දුන් සැකකරුවන් දෙදෙනකුගේ සාක්ෂි කොමිසම වෙත ලැබුණි. හාදියා සිය සාක්ෂියේ සඳහන් කර ඇත්තේ 2019 අප්‍රේල් 26 වැනි දින සයින්දමරුදු හි සිදුවූ පිපිරීමෙන් පසු ඇය සිහිසුන් වූ බවයි. ඇය යථා තත්ත්වයට පත්වීමෙන් පසු, සාරා මෙන් හඬ නගන කාන්තාවකගේ කටහඬක්ද ඇසිණි. සාරාගේ මව සමග කළ ඩීඑන්ඒ විශ්ලේෂණයෙන්, පිපිරීමෙන් සාරා මියගිය බව තහවුරු වී නැත. මෙම සාක්ෂිය සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ කොමිසම නිර්දේශ කරන්නේ සාරා පිළිබඳ පරීක්ෂණ දිගටම කරගෙන යන ලෙසයි.’’ (251 පිටුව)

පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අවස්ථාවේදී ද සාරාගේ අතුරුදහන් වීම පිළිබඳව කරුණු මතු කෙරිණි.

* සාරා පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කරනු ලබන මුළු මහත් පරීක්ෂණයේම අතිශය වැදගත් සාක්ෂිකාරියක් බව අවිවාදිතය. ඇයට නිශ්චිතව සිදුවූයේ කුමක්ද?

* වසර දෙකක් පුරා ඇයව සොයාගන්නට පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම්වලට නොහැකි වූයේ ඇයි?

* ඇයව මඩකලපුවේ සිට මන්නාරම කරා ගෙන ගියා යැයි කියන්නේ අම්පාර පොලිස් ගරාජයේ පොලිස් ස්ථානාධිපතිවරයකු නම්, පොලිසියට සාරා සමග තිබූ සම්බන්ධතාව කුමක්ද?

* පොලිසියට හෝ පොලිසිය මගින් වෙනත් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට සාරාව වසන් කිරීමට අවශ්‍යතාවක් තිබුණේද?

* ඒ කුමකටද?

02. ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා ගන්නට ගිය ජමීල් නමැත්තාව හමුවූ බුද්ධි අංශ නිලධාරියා කවුද? මේ පිළිබඳව ඉහත කී පාර්ලිමේන්තු විවාදයේදී කිහිප දෙනකු සඳහන් කර තිබේ.

පූජිත ජයසුන්දර යනු, පාස්කු ප්‍රහාරය සිදුවන වකවානුවේ සිටි පොලිස්පතිවරයාය.

* ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරවන්න ගිය ජමීල්ව බුද්ධි අංශයේ පුද්ගලයෙක් හමුවූ බවට ඔහු විසින් දී ඇති සාක්ෂිය පිළිබඳව කර ඇති වැඩිදුර පරීක්ෂණ මොනවාද?

* එම බුද්ධි අංශ නිලධාරියා කවුද?

* ඔහු ජමීල්ව හඳුනන්නේ කෙසේද?

* ඔහු ජමීල්ව හමුවීමේ අරමුණ කුමක්ද?

යන මේ කරුණු සොයා ගැනීම මේ පරීක්ෂණයට කෙතරම් වැදගත් වන්නේදැයි ඕනෑම කෙනකුට වැටහෙන කරුණකි.

03. ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරවන්න ගිය ජමීල්ට ලැබුණු දුරකථන ඇමැතුම කුමක්ද?

පාස්කු කොමිෂන් වාර්තාවේ 213 වැනි පිටුවේ මෙසේ සඳහන් වේ.

‘‘පෙරවරු 8.51ට පමණ අවන්හලෙහි අසුනක හිඳගන්නා ජමීල් ඔහු පිටෙහි පැලඳ සිටි ගමන් මල්ල සිය උකුල මතට ගෙන එහි මතුපිට පරීක්ෂා කිරීම ආරම්භ කළේය. ඉන් මඳ වේලාවකට පසු ඔහුගේ දුරකථනයට ඇමැතුමක් ලැබෙන බව පෙනී යයි. එම ඇමැතුම කවරකුගෙන් ලැබුණු කුමන ආකාරයේ ඇමැතුමක්ද යන්න පැහැදිලි නැත. නමුත් විමර්ශන කොමිසම නිරීක්ෂණය කරන ලද කාරණයක් වන්නේ එම ඇමැතුම ඔහු වෙත ලැබුණේ ජමීල් විසින් ඔහුගේ ගමන් මල්ල පිරික්සීම ආරම්භ කිරීමෙන් පසුව බවයි.’‘ (පාස්කු කොමිෂන් සභා වාර්තාව, පළමු වෙළුම, 213 පිටුව)

* මේ පිළිබඳව මීට අමතර කිසිදු කරුණක් වාර්තාවේ සඳහන් නොවන්නේ ඇයි?

* මේ ඇමැතුම ගැන මින් ඉදිරියට කිසිදු පරීක්ෂණයක් සිදුවී නැද්ද?

* අදාළ දුරකථන සමාගමේ දත්ත පරීක්ෂා කිරීමෙන් එය පහසුවෙන් සොයාගත හැකිය. මෙම සොයා ගැනීම වැදගත් නොවන්නේද?

04. ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරවන්න ගිය ජමීල්ගේ නිවසට හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් කඩිනමින් ගියේ කෙසේද?

පාස්කු වාර්තාවේ මේ සිද්ධිය පිළිබඳව සඳහන් කරුණු:

2019 අප්‍රියෙල් 19 දින.

* ‘‘13:23 – එබර්නේස පෙදෙසේ පිහිටි මුස්ලිම් දේවස්ථානයෙන් පිටතදී අමීර් (පෞද්ගලික ආරක්ෂක සමාගමක මෙහෙයුම් කළමනාකරුවෙකි) විසින් ජමීල්ව ප්‍රශ්න කරනු ලැබේ. අමීර් ජමිල්ගේ නිවසට දුරකථන ඇමැතුමක් ගනී. ජමීල්ගේ බිරිඳ වන ඔමර්කතාර් පිළිතුරු දෙයි. ඉන්පසු ජමීල් එතැනින් පිටව යයි. විනාඩි දෙක තුනකට පසු ජමීල්ගේ බිරිඳගේ අංකයෙන්ම අමීර්ට ඇමැතුමක් ලැබෙයි. කතා කරන්නේ පිරිමි පුද්ගලයෙකි. පවුලේ අර්බුදයක් හේතුවෙන් ජමීල්ව රැගෙන යාමට අවශ්‍ය බැවින් ඔහුව රඳවා තබාගන්නා ලෙස ඒ පුද්ගලයා දෙමළ භාෂාවෙන් අමීර්ට දන්වා සිටියි. තමාට වෙනත් වැඩක් ඇති බැවින් ඔහුට එය කළ නොහැකි බවත්, කෙසේ හෝ ජමීල් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් අමීර් ඔහුට දන්වා සිටියේය.’’ (පාස්කු කොමිෂන් සභා වාර්තාව, පළමු වෙළුම, 217-218 පිටු ආශ්‍රිතව)

* සවස 5.00 – ‘‘අමීර්ට නොදන්නා දුරකථන අංකයකින් ඇමැතුමක් ලැබෙයි. එම කටහඬ, ජමීල් එබර්නේස ප්‍රදේශයෙන් පිටව ගිය පසු දෙමළ බසින් ඔහු සමග කතා කළ පුද්ගලයාගේ කටහඬමය. ඒ, ආරක්ෂක අමාත්‍යාංශයේ රහස් පරීක්ෂණ අංශයේ (DMI) දුරකථනයකි. ඔහුට වැල්ලවත්ත පොලිසියට පැමිණෙන ලෙස දන්වයි. අමීර් DMI එකේ පුද්ගලයකුව හමුවෙයි.’’ (පාස්කු කොමිෂන් සභා වාර්තාව, පළමු වෙළුම, පිටුව 219)

කොළඹ නගරයේ මීගමුවේ සහ මඩකලපුවේ බෝම්බ පිපිරෙන්නේ උදය 8.45 9.03 අතර කාලයේය. DMI නිලධාරීන් පාස්කු කොමිසමට පවසා ඇත්තේ ඔවුන් මේ බෝම්බ පිපිරීම් සිදුවූ වහාම (Soon after the explosions in Colombo and suburbs) ජමීල්ගේ නිවසට ගිය බවයි. (කොමිෂන් වාර්තාව, 22 පිටුව)

* එසේ ගිය පුද්ගලයා කවුද?

* DMI පුද්ගලයා කී ලෙස අමීර්ට ජමීල්ව හඹා ගොස් එසේ රඳවා තබා ගන්නට හැකියාව නොතිබුණේද?

* සවස 1.30 පමණ සිට සවස 5.00 දක්වාම DMI නිලධාරීන් කළේ කුමක්ද?

* ඒ දක්වාම ජමීල්ව සොයා ගැනීමට ඔවුන් දැරූ උත්සාහය කුමක්ද?

* මේ කරුණු පිළිබඳව වැඩිදුර පරීක්ෂණ නොකෙරුණේ ඇයි?

05. සීඅයිඩී එක භාරව සිටි ශානි අබේසේකර මහත්මා අත්අඩංගුවට ගත්, හමුදා බුද්ධි අංශය රැගෙන ගිය බුද්ධි අංශයේ නිලධාරියා කවුද?

* සීඅයිඩී එක භාරව සිටි ශානි අබේසේකර මහත්මා අත්අඩංගුවට ගත්, හමුදා බුද්ධි අංශය රැගෙන ගිය බුද්ධි අංශයේ නිලධාරියා පිළිබඳව පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂියකින් හෙළිදරව් වූවා නම්, ඒ සා වැදගත් සාක්ෂියක් අවසාන වාර්තාවේ අඩංගු නොවුණේ මන්ද?

* නීතිපතිතුමාට පමණක් ලබාදුන් වෙළුම් 22 තුළ ඒ පිළිබඳව සඳහන් වන්නේද?

* ඔහුව රැගෙන ගිය හමුදා බුද්ධි අංශය ඊට පසුව ඒ පිළිබඳව කළ විමර්ශන මොනවාද?

* ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුවී ඇද්ද?

06. Sonic – Sonic යන සංඥා නාමයෙන් හැඳින්වූ පුද්ගලයා කවුද?

* Sonic – Sonic යන සංඥා නාමයෙන් හැඳින්වූ බුද්ධි අංශයේ පුද්ගලයා කවුද?

* ඒ පාවිච්චි කරන ලද දුරකථන අංකයට අදාළ IP Address එක අනුව ඒ දුරකථනය කාගේද?

* සහරාන් 2 කියන පුද්ගලයා දුරකථනයෙන් කතා කළේ කාටද?

* එය කොමිසම හමුවේ ඉදිරිපත් වී ඇත්නම් එය කොමිෂන් වාර්තාවේ සඳහන් නොවීම ගැන අපට ප්‍රශ්නයක් ඇත. එම නම, නීතිපතිතුමන්ට ලබාදුන් වෙළුම 22හි සඳහන් වන්නේද?

* එසේ නම් ඒ පුද්ගලයා කවුරුන්දැයි හෙළි නොකරන්නේ ඇයි?

මාතලේ සහරාන්ගෙන් සහ නවුෆර් මවුලවිගෙන් පාස්කු කොමිසම කටඋත්තර ගෙන ඇත.

ඇ) ඉහත කී කරුණු හැරෙන්නට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහත්මා 2021 මැයි 17 දින News First හි සුල්ෆික් ෆර්සාන් සමඟ කළ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ කරුණු,

මේ ප්‍රහාරය පිටුපස මහා කුමන්ත්‍රණයක් තිබුණේ යැයි හිටපු නීතිපතිවරයා ප්‍රසිද්ධ මාධයයක පැවති සාකච්ඡාවකදී පවසා තිබිණි. ඔහු එසේ කියන්නේ පාර්ලිමේන්තුවට සහ අපට ලබා නොදුන්, නීතිපතිට පමණක් ලබාදුන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම්වල සඳහන් කරුණු සහ මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බුද්ධි අංශ නිලධාරීන් විසින් සිදුකර ඇති වැඩිදුර පරීක්ෂණ වාර්තාද පදනම් කරගෙන බව අපි විශ්වාස කරමු. එහෙයින් එය ඉතා බරපතළ ප්‍රකාශයක් බව නොකිවමනාය. එම නිසා ඒ පිළිබඳව ගැඹුරින් විමර්ශනය කළ යුතුය. මෙම කුමන්ත්‍රණයේ ස්වභාවය සහ එහි අරමුණ කුමක්ද? ඊට සම්බන්ධ පුද්ගලයන් කවුද යන ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමට අපි කැමැත්තෙමු.

අපගේ ඉල්ලීම : පාස්කු ප්‍රහාරය පිළිබඳව සැකකරුවන් 42කට විරුද්ධව ජූලි මාසයේදී නඩු පවරන බව සරත් වීරසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. ඒ 42 ඇතුළත මේ ප්‍රහාරය සැලසුම් කළ ප්‍රධාන සැකකරුවන් සහ දැන දැනත් එය වළක්වා ගැනීම පැහැර හැරියා වූ දේශපාලකයන් සහ බුද්ධි අංශ නිලධාරීන් සිටින්නේදැයි අපි නොදනිමු. නොඑසේ නම්, පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ අවශේෂ පුද්ගලයන්ට එරෙහිව පමණක් නඩු පවරා එතැනින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සියලු නීතිමය ක්‍රියාකාරකම් නිමා කිරීමේ උත්සාහයක් මේ පසුපස ඇත්ද යන සැකය මෙහිදී අප තුළ මතු වේ. ඒ එසෙ වුවහොත්, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ද, ඔවුන්ට සහාය වීම සඳහා තම වගකීම් පැහැර හරිමින් මේ ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව වළක්වා නොගත් සියල්ලන්ද තවදුරටත් මේ සමාජය තුළ නිදහසේ සැරිසරනු ඇත. එය මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් අමු අමුවේ ඝාතනයට ලක්වූ අහිංසක මිනිසුන් 269 දෙනාටද, ඔවුන්ගේ මරණය නිසා අසරණව පීඩාවට පත්ව සිටින ඔවුන්ගේ ඥාතීන්ටත්, සදහටම රෝගීව දුක් විඳින දහසක් දෙනාටත් යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම පැහැර හැරීමක් පමණක් නොව, මේ රටේ ජාතික ආරක්ෂාවටද විශාල තර්ජනයක් වන බව අවධාරණය කළ යුතුය.

එහෙයින්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නඩු කටයුතු නිමාවිය යුත්තේ,

* මෙම බෝම්බ ප්‍රහාරයට සෘජුව සම්බන්ධ වූවන් සහ ඔවුනට සහාය දැක්වූවන්,

* මෙම බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ මහා මොළකරුවන් සහ එය මෙහෙය වූවන්,

* මෙම සමූල ඝාතනය වළක්වාගත හැකිව තිබියදී, තම වගකීම් පැහැර හැරිය දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන් නීතිය ඉදිරියට ගෙන ඒමෙන්ය.

* එලෙසම මේ පසුපස කුමන්ත්‍රණයක් තිබුණේද?

* එහි අරමුණ කුමක් වීද?

* ඊට සම්බන්ධ පුද්ගලයන් කවුද යන කරුණුද විමර්ශනය කොට, රටට හෙළිදරව් කරන ලෙසද අපි ඉල්ලා සිටිමු.

දැනට මන්දගාමී හා ඇතැමුන් ආරක්ෂා කරමින් සත්‍යය එළිදරව් වීම වැළැක්වීමට ගෙන යන කුමන්ත්‍රණය පරදවා මේ මිනිස් ඝාතනයට තුඩු දුන් සියල්ල අනාවරණය කර යුක්තිය ඉටුකරලීමට ඔබතුමන්ගේ රජය ඉක්මනින් කටයුතු කරනු ඇතැයි අපි සිතමු. එසේ කරන ලෙස උදක්ම ඉල්ලා සිටිමු. එලෙසම දේශපාලනික ලාභ ප්‍රයෝජනවලට වඩා සත්‍යය සහ යුක්තිය වෙනුවෙන්ද නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන්ද ඔබතුමන් පෙනී සිටින බවට ඒ මගින් අපට සහතික කරනු ඇතැයි සිතමු. මේ අපගේ ඉල්ලීමට සවන් දී මෙහි සඳහන් කළ සියලු කරුණු කඩිනමින් විමර්ශනය කර එවායේ සත්‍යාසත්‍යභාවය රටට හෙළි කරනු ඇතැයි මහත් ඕනෑකමින් බලාපොරොත්තු වෙමු. අවසාන වශයෙන් අප ඔබතුමන්ට දැනුම් දෙන්නේ යුක්තිය සහ සාධාරණත්වය සෑහීමකට පත්විය හැකි විනිවිද භාවයකින් ඉටු නොවුණොත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ගවලට යෑමට අපට සිදුවන බවයි.

මේ පිළිබඳ සෑහීමකට පත්විය හැකි පිළිතුරක් මසක් ඇතුළතවත් අපට ලබාදීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරමු.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව අපරාධ වගකීමක් ඇති බව පවසන්නේනම් ඔහුට එරෙහිව අපරාධ නඩු පවරන ලෙසත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පියවර ගන්නා ලෙසත් බිෂොප්වරුන් සහ පූජකවරු සිය ලිපියෙන් ඉල්ලා සිටිති. එමෙන්ම කොමිසමේ නිර්දේශ අනුව එහි දී හෙළි වූ පුද්ලයන් විෂයෙහි නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ඉන්දියාවට පලා ගිය බව කියන සාරා කොහේද යන්න නිශ්චය කර ගැනීම සඳහා නව පරීක්ෂණ පවත්වන ලෙසත්, ටජ් සමුද්‍රා හෝටලයේ බෝම්බයක් පුපුරුවා හැරීමට ගිය ජමීල් හමුවූ බුද්ධි අංශ නිලධාරියා ගැන සොයා බැලීමට කටයුතු කරන ලෙසත්, පූජකවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

දෙහිවල ලැගුම්හලක බෝම්බය පුපුරා යාමට පෙර ටජ් සමුද්‍රා හෝටලයේ බෝම්බයක් පුපුරුවා හැරීමට ගිය ජමීල් නැමති ප්‍රහාහරකයා හමුවූ බුද්ධි අංශ නිලධාරියා කවුදැයි සොයන්න.

දෙහිවල ලැගුම්හලක පිපිරී යෑම සම්බන්ධව ශානි අබේසේකර විසින් අත්අඩංගුවට ගනු ලැබු බුද්ධි අංශ නිලධාරියා කවුද යන්නත් මේ ප්‍රහාරකයන් සොනික් ලෙස හැඳින්වූ පුද්ගලයා කවුරුන්ද යන්නත් විමර්ශනය කරන මෙන් පූජකවරු ඉල්ලා සිටිති.


Exit mobile version