ඉඳුනිල් කහටපිටිය –
-
මෙවර දියවඩන නිලමේ නිලවරණය සඳහා ඉදිරිපත්වන මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දුමින්ද උඩුරාවණ මාධ්‍ය හමුවේ කියන කතාව…
ශ්‍රී දළදා මාළිගාවේ බස්නායක නිලමේ ධූරය දැරිය හැකි කාලය ධූර කාල දෙකකට පමණක් සීමා කළ යුතු බවත් තමන් දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්වුවහොත් සිය ධූරයේ පළමු කාර්යය වන්නේ මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන්ගේ අනුශාසනා සහ අනුමැතිය සහිතව දියවඩන නිලමේවරයෙකුට ධූරකාලය දැරීමේ හැකියාව දෙවරකට පමණක් සීමා කිරීම බවත් මෙවර දියවඩන නිලමේ ධූරය සඳහා තෝරා පත් කරගැනීමේ ඡන්දයට ඉදිරිපත්වන මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ පැවසුවේය.
අද (14) මහනුවර දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් බස්නායක නිලමේවරයා කීවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල එම ධූරයට පත් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ දෙවැනි ධූර කාලයේ අවසන් අවධියේ දී බවය. 2005 දී දියවඩන නිලමේ ධූරයට පත් වූ ප්‍රදීප් නිලංග දෑල 2025 වසරේ දී තවදුරටත් දියවඩන නිලමේ ධූරය අපේක්ෂාවෙන් ඡන්දයට ඉදිරිපත් වෙද්දී ගෙවුනු වසර 20 තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සහ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරය දරා ඇති බවය.
බෞද්ධ සම්ප්‍රදාය ලස්සන වීමට නම් බෞද්ධයාගේ මුදුන්මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරිත්වය සම්බන්ධව මේ තීරණාත්මක වෙනස සිද්ධ විය යුතු බව දුමින්ද උඩුරාවණ අවධාරණය කළේය.
මේ අවස්ථාවේ දී මාධ්‍ය විමසුවේ දියවඩන නිලමේවරයා පත් කිරීමට ඡන්දය හිමි ප්‍රාදේශීය ලේකම්වරුන්ට අල්ලස් ලබා දීමක් සම්බන්ධව නිරන්තරව ඇසෙන කතා සම්බන්ධව අදහස කුමක් ද යන්නය.
ඊට පිළිතුරු දෙමින් දුමින්ද උඩුරාවණ පැසුවේ මෙතෙක් කල් මෙම ඡන්දය පැවති ආකාරය ගැන මාධ්‍ය ලෙස රැස්වී සිටින සියලුම දෙනා හොඳන් දන්නා බැවින් තමන්ට යළි ඒ සම්බන්ධව පැහැදිලි කිරීම් කිරීමට අනවශ්‍ය බවය. ” අපි හැමෝම දන්නවනේ මේ වැඩේ වුනේ කොහොමද කියලා… ” බස්නායක නිලමේ වරයා කීවේය.
එමෙන්ම ලංකාවේ පන්සල් දහතුන් දහසක් ඇති බවත්, දානේ වේලක් නැති පන්සල් ගම්වල මෙන්ම නගරයේත් තිබෙන බවත් පැවසූ දුමින්ද උඩුරාවණ බස්නායක නිලමේවරයා දළදා මාළිගාවේ ආධාර ලැබිය යුත්තේ දියවඩන නිලමේවරයා තෝරා ගැනීමට ඡන්ද බලය ලබා දිය හැකි පන්සල්වලට පමණක් නොවන බව අවධාරණය කළේය. ඔහු කීවේ මේ ප්‍රධාන පන්සල්වල මගපෙන්වීම සහ ආශීර්වාදය සහිතව සියලුම දුප්පත් පන්සල් ආවරණය කරමින් නගා සිටුවා බෞද්ධ පුනර්ජීවනයක් ඇති කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අභිලාෂය දියවඩන නිලමේ ධූරය සඳහා තරග වදින තමන් තුළ ඇති බවය.
එමෙන්ම දළදා මාළිගාවේ දැනට ක්‍රියාත්මකවන මාධ්‍ය ඒකාධිකාරිය සම්බන්ධද කතා කළ උඩුරාවණ බස්නායක නිලමේවරයා එම මාධ්‍ය භාවිතය විධිමත් කරන බවත්, දළදා මාළිගාව ප්‍රචාරය කිරීමේ නිල අනුග්‍රහයෙන් උපදවන ඩොලර් ප්‍රමාණය සාධාරණව බෞද්ධ ශාසනයේ උන්නතියට යොදවන බවත් පැවසුවේය.
දියවඩන නිලමේවරයා තෝරා ගන්නා සම්ප්‍රදාය
දියවඩන නිලමේවරයෙකුගේ නිලය පුරප්පාඩු වී තෙමසක් ඇතුළත ඔහු තෝරා පත් කර ගත යුතු බවට 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ සඳහන්ය. ඒ සඳහා,
- මල්වතු විහාරයේ සහ අස්ගිරි විහාරයේ මහනායක හිමිවරුන් දෙපළට
- උඩරට අය වන අධිකාරම්වරු හා දිශාවරු
- උඩරට දිසාවන් තුළ නිල දරන රටේ මහත්වරු සහ ප්‍රාදේශීය ආදායම් නිලධාරීවරු
- උඩරට දිසාවල පිහිටි සියලුම දේවාලවල බස්නායක නිලමේවරු
- එවකට ගත වූ තුන් අවුරුද්ද තුළ වාර්ෂිකව ආදායම් රු. 1,000 කට වැඩි යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් ගණන් ගනු ලබන උඩරට දිසාවන් තුළ පිහිටි සියලුම සිද්ධස්ථානවල භාරකරුවන්ට බලය පැවරේ.
සාම්ප්‍රදායානුකූලව උඩරට රාජධානියට අයත්ව තිබූ දිස්ත්‍රික්ක 16 ක් තුළ පිහිටි,
- රජ මහා විහාරස්ථාන 157 ක භාරකාර හිමිවරුන්
- ප්‍රාදේශීය ලේකම්වරුන් 170 දෙනෙකු
- දේවාලවල බස්නායක නිලමේවරුන් 31 දෙනෙකු
- විහාරවල හා දේවාලවල ගිහි භාරකරුවන් 4 දෙනෙකු
ඇතුළු 362 දෙනෙකුට මෙවර දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද අයිතිය හිමිව තිබේ.
නමුත් 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව, මෙම නිලවරණයට ඡන්ද අයිතිය ඇති නමුත් කාන්තාවන් හා අන්‍ය ආගමික ප්‍රාදේශීය ලේකම්වරුන් 95 දෙනෙකුට පමණ මෙවර නිලවරණයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට සිදුව තිබේ.
ඒ අනුව මෙවර දියවඩන නිලමේ නිලවරණයට ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය ඇත්තේ ලියා පදිංචි ඡන්ද දායකයින් 267 දෙනෙකුට පමණි. එයින් 157 බෞද්ධ භික්ෂුන් වහන්සේලා වීම ද විශේෂත්වයකි. ඒ අනුව දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීමේ රැස්වීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් කැඳවීම් ලිපි ලැබෙන්නේ 267 දෙනෙකුටය.
තීරණාත්මක ඡන්දය
මෙවර තීරණාත්මක ඡන්දය භික්ෂූන් වහන්සේලා අත රැඳී ඇතැයි ද උපකල්පනය කළ හැක. ඊට හේතුව වලංගු මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 51% ක් පමණ උන්වහන්සේලා සතුව තිබීමය.
ඔවුන්ගේ රැස්වීමෙන් අනතුරුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රහසිගත ඡන්දයකින් දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගත යුතු බව පනතේ සඳහන්ය.
පුරප්පාඩු වී ඇති නිලයට තේරීම සඳහා එක් අයෙකුගේ නම පමණක් යෝජනා කර අනුමත කර ඇත්නම්, එම තැනැත්තා දියවඩන නිලයට පත් වූ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කළ යුතුය.
නමුත්, එක් අයෙකුට වැඩි දෙනෙකුගේ නම් යෝජනා වී අනුමත කර ඇත්නම්, ඡන්දය ගෙන වැඩි ඡන්දය ගත් තැනැත්තා දියවඩන නිලයට පත් වීම සිදුවේ.
එම තැනත්තා වයස අවුරුදු 70 නොඉක්මවූ අයෙකු විය යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.







