මහ වැස්සෙන් පවුල් 31303ක පුද්ගලයින් 130672ක් විපතට

රත්නපුරයේ නවසක් මතට පස් කන්දක් කඩා වැටී විපතට පත් විනි

තුෂාරී කළුබෝවිල –

ධාරානිපාත වර්ෂාව සමග ඇති වූ ආපදා හේතුවෙන් දින දෙකක් (ජුනි 03 හා 04) ඇතුළත දිස්ත්‍රික්ක 5ක පවුල් 31303කට අයත් පුද්ගලයින් 130672ක් විපතට පත් ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූවේ වැඩිම පිරිසක් විපතට පත් ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 98052ක් බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ 28240 ක් ද පුත්තලම දිස්ත්‍රික්කයේ 3137ක් ද රත්නපුර දිස්ත්‍රික්කයේ 1242ක් ද කලුතර දිස්ත්‍රික්කයේ 8 දෙනෙක් ද විපතට පතව ඇති අතර පිරිස සංඛ්‍යාත්මක ව තව බොහෝ වැඩි විය හැකි බවයි.

පුද්ගලයින් 5829 දෙනෙක් අවතැන් ව ඇති අතර හානියට පත් නිවාස සංඛ්‍යාව 322 කි.

දැනට සිදු කර ඇති ගණනය කිරීම්වලට අනුව දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව පීඩාවට පත් ව සිටී.

රත්නපුර අයගම

නායයාමකින් වයස අවුරුදු 16ක දැරියක් මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා ඇත. රත්නපුර ගැටහැත්ත නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එක් අයෙක් තුවාල ලබා රෝහල් ගත කෙරිණි. ඇහැළියගොඩ කරඳන මාර්ගයේ දම්මුල්ල ජිනරතන පාසල අසළ මාර්ගය ගිලා බැස ඇත.

පුත්තලම

මේ අතර පුත්තලම මහාවැව ඇළ ජල පහරට හසුව වයස අවුරුදු 15ක පිරිමි දරුවෙක් ගසාගෙන ගොස් ඇත.

ජලාශ කිහිපයක වාං දොරටු විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව කුකුළේ ගඟ වාං දොරටු 02ක් ද දැදුරුඔයේ වාං දොරටු 04ක් ද තබ්බෝව ජලාශයේ වාං දොරටු 06ක් ද විවෘත කර ඇත. මේ හේතුවෙන් එම ජලාශ ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යට විය හැකි බවට අනතුරු ඇඟවේ.


අත්තනගල්ල

අත්තනගලු ඔය පිටර යමෙන් අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ මෙන්ම උරුවල් ඔය නිම්නයේ පහත් බිම් ද ජලයෙන් යටවනු ඇත. කලු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් හොරණ, අහලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩන්ගොඩ, මිල්ලනිය, මදුරාවල, කළුතර ප්‍රදේශවල ජල ගැලීම් ඇති වන බවත්, කැලණි ගඟ ජල මට්ටම ඉහළ යාමෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ, වත්තල ආශ්‍රිත ව ජල ගැලීම් ඇති වන බවත් අවධාරණය කෙරේ. මීට අමතර ව ගිං ගඟ, නිල්වලා ගඟ, මහා ඔය ද ජල මට්ටම ඉහළ ගොස් ඇත. දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පාර්ලිමේන්තු මාර්ගය ජලයෙන් යටවීම වැලි කොට්ට යොදා පාලනය කිරීමට පියවර ගෙන ඇත.

කලුතර

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර කලුතර, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, හොරණ, ඇහැළියගොඩ, කලවාන, අයගම, සීතාවක, නෙලුව, දෙහිඕවිට තවදුරටත් නායයාම් අවධානම් ප්‍රදේශ ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූවේ ත්‍රිකුණාමලය ආශ්‍රිත ව ඉහළ වායු ගෝලයේ කැළඹිලි පද්ධතියක් වර්ධනය වී තිබීමත්, ඉන්දියාවේ නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය ස්ථාපිත වී තිබීමත්, දිවයිනේ නිරිතදිග මෝසම සක්‍රිය වීමත් හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත් සක්‍රිය ව පවතින බවයි.

Exit mobile version