මහ මැතිවරණය අවලංගු කරගැනීමට ඉදිරිපත් කළ පෙත්සම් විභාගය සඳහා විනිසුරු මඬුල්ල යළි හෙට රැස් වෙති

ලබන ජූනි මස 20 දා මහා මැතිවරණය  පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය  අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු  පෙත්සම් විභාග කිරීම පසුගිය 18 දා ඇරඹූ  පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද (19) රැස් වීමෙන් පසු යළි හෙට (20)  උදෑසන 10ට රැස් වීමට තීරණය කළේය..

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙම පංච පුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපතිත්වය දරයි. සෙසු සාමාජිකයන් වන්නේ බුවනෙක අලුවිහාරේ, සිසර තාබෘෘ, විජිත් මලල්ගොඩ හා ප්‍රියන්ත ජයවර්ධනය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාඨලී චම්පික රණවක, නීතිඥ චරිත ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් නීතිපතිවරයා සහ  මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.


ජූනි මස20 දා මහ මැතිවරණයට දින නියම කිරීම ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් පත් කිරීමට ඇති හැකියාව අහිමිවීමෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය     බල රහිත බව පෙන්වා දෙයි.

එමෙන්ම ඔක්තොම්බර් මස 23 දා පාර්ලිමේන්තුවේ දී සම්මත කළ විසර්ජන පනතට අනුවට වත්මන් ආණ්ඩුවට රජයේ මුදල් වැය කිරීමට හැකි වන්නේ පසුගිය අප්‍රේල් 30 දක්වා පමණක් බව ද පෙත්සම් කරුවෝ පෙන්වා දෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පෙත්සම විභාගකර අවසන් තීන්දුව ලබා දෙන තෙක් ජූනි මස 20 දා මැතිවරණය පැවැත්වීමට අදලා ගැසට් නිවේදනය හා මාර්තු 02 දි පාර්ලිමේන්තුව  විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය  තාවකාලිකව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Exit mobile version