මරණයත් අන්දන්න හදන දැඩි සත්කාර ඒකක ඇඳන්වල බොරුව සහ  ඇත්ත

මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  ප්‍රකාශ කළත් මේ වනවිටත් එම ධාරිතාව ඉක්ම ගොස් ඇති බවත් කොළඹ අයි.ඩී.එච්. රෝහලේ පමණක් දැඩි සත්කාර ඒකක පොරොත්තු ලේඛණයේ  අසාධ්‍ය  රෝගීන් විසි පහකට ආසන්න ප්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

දැඩි ශ්වසනාබාධ තත්වය යටතේ ඇතුළු කරන  කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව කියූ එක් ප්‍රකාශකයෙක් හෙළි කළේ  ඇදුම තත්වයක් යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ  කැළණිය ප්‍රදේශයේ 40 හැවිරිදි  කොවිඩ් ආසාදිත කාන්තාවක්  පැය භාගයක් තුළ මිය ගිය බවය.

මේ අතර කොවිඩ් රෝග තත්වය යටතේ ප්‍රතිකාර කළ හැකි දැඩි සත්කාර ඒක ඇඳන් 700ක් ලංකාවේ ඇති බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග උපුටා දක්වමින්  කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  ප්‍රකාශ කළත් එම ප්‍රමාණයෙන් සියයට අනූවකටත් වඩා හදිසි අනතුරු, හෘද රෝග, ස්නායු රෝග,  ඇතුළු බරපතල කායික රෝග වෙනුවෙන් වෙන් වී ඇති ඒකකවල පවතින බැවින් එම එක් ඇඳකටවත්  කොවිඩ් ආසාදිත රෝගීන් ඇතුළු කිරීම කිසිසේත්ම ප්‍රායෝගිකව කළ නොහැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.


අනතුරුව අප කළ විමසීමක දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල් (මහජන) විශේෂඥ වෛද්‍ය එම්. ආර්නල්ඩ්  ප්‍රකාශ කළේ  දැනට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 82ක් තුළ රෝගීන් 11488 දෙනෙකුට ප්‍රතිකාර ලබා දීමට හැකියාව පවතින බවත් දැඩිසත්කා ඒකක ප්‍රතිකාර සදහා ඇඳන් 146ක්ද වෙන්කර ඇති බවත්ය.  ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙත පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් නොඅඩුව ලබා දීමට මේ වන විටත් හැකියාව පවතින  බව ඔහු කීවේය.

එහෙත් ඊයේ වනවිට  මුල්ලේරියාව මූලික රෝහලට අවශ්‍ය දෛනික ඔක්සිජන් අවශ්‍ය ධාරිතාවවන සිලින්ඩර 150 වෙනුවට පැවතියේ සිලින්ඩර 80ක් පමණි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කළ රෝහල්වල  අසාධ්‍ය කොවිඩ් රෝගීන් සඳහා සත්‍ය වශයෙන්ම දැනට පවතින දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය 40කට අඩු බවය.  අවස්ථා ගණනාවක් ඉල්ලීම් කළත් එම ධාරිතාව වර්ධනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කර නැති බවය.

හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් 10න් කොවිඩ් ප්‍රතිකාර සඳහා ක්‍රියාත්මක වන්නේ ඇඳන් 6ක් පමණක් බවත්, නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් 12න් එක් ඇඳක්වත්  කොවිඩ් ප්‍රතිකාර සඳහා ලබා දී නැති බවත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයී රෝහලේ ඇඳන් 30න් ලබා දී ඇත්තේ ඇඳන් 2ක් පමණක් බවත්, එම ආරංචි මාර්ග පෙන්වා දෙයි

වාර්තාවන පරිදි පිඹුර රෝහලේ විශේෂ සත්කාර ඒකකය  ඇඳන් 08ක ධාරිතාවයකට   සකස් කළත්  එම ඒකකය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දී නැත.  අනුරාධපුරයේ තව විශේෂ ප්‍රතිකාර ඇඳන් 04ක් හා දැඩි සත්කාර ඒකක ඇඳන් 02ක් ක්‍රියාත්මක කළ හැකි නමුත් ඒ සඳහා අවශ්‍ය සැපයුම් ලබා දී නැත. මුල්ලේරියාව මූලික රෝහලේ තව එක විශේෂ සත්කාර ඒකක ඇඳක් සඳහා ඉඩ කඩ ඇතත් එම ඇඳ සකස් කරගැනීම සඳහා උපකරණ සපයා නැත. මේ ඉල්ලීම් කරනු ලබන්නේ කලක සිට නමුත් මේ වනතුරුත් ඒ සැපයුම් ලබා දී නැති බවත් දැන් පවතින බරපතල තත්වය නිරාකරණය කරගැනීමට  වහාම ක්‍රියාත්මක වී මේ දැඩි සත්කාර සහ විශේෂ සත්කාර ඒකක ඇඳන් සකස් කර ගත හැකිනම් දැන් අයි.ඩී.එච්. රෝහලේ  දැඩි සත්කාර ඒකක බලාපොරොත්තුවෙන් මරණය සමග පොරබදන්නට රෝගීන්ට සිදුනොවන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේය.

“ ඔවුන් සත්‍ය තත්වය වසන් කරනවා…  මුළු නුවර දිස්ත්‍රික්කයටම කොවිඩ් ප්‍රතිකාර සඳහා තියෙන්නේ   දැඩි සත්කාර ඒකක ඇඳන් 6යි. උතුරු පළාතටම කොවිඩඩ් සඳහා ප්‍රතිකාර කරන්න කියලා වෙන් කළ එකම දැඩි සත්කාර ඒකක ඇඳක්වත් නෑ. ඔවුන් ඒ ඒකක ගොඩ ගනගන්න පටන් ගන්නෙ දැන්. කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇත්තෙම නෑ… දැඩි සත්කාර ඒකක කළමනාකරණ පරිචය සහිත විශේෂඥ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල අපට ඉන්නවා. ඔවුන් යොමු කර එක් දිස්ත්‍රික්කයකට එක කොවිඩ්  ප්‍රතිකාර රෝහලක්   හඳුනාගෙන එම රෝහලට අවශ්‍ය පහසුකම් සපයලා  මූලිකවම ඒ දිස්ත්‍රික්කය තුළ රෝග කළමණාකරණය එම රෝහල මුල් කරගෙන කරන්න යෝජනා වෙලා තිබුණා.   එහෙත් දැන් වෙන්නෙ අයි.සී.යූ, ඇඳන් හිස් වෙනකම් ඉඳලා ලංකාව පුරා අසාධ්‍ය කොවිඩ් රෝගින් මාරු කරන එක.  බොහෝ විට මේ රෝගීන් මිය යන්නෙ මග.“

මේ වනවිට රෝහල්ගත කරන රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයකට ඔක්සිජන් ලබා දීමට සිදුවී ඇති බවත්,  මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ ඔවුන් සතුව පවතින ඔක්සිජන් ප්‍රමාණය තහවුරු කර දැනුම්දෙන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට රෝහල් සඳහා ඔක්සිජන් සැපුයම සිදු කරන්නේ මෙරට තුළ පවතින සමාගම් දෙකට සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ලිපියක් යොමු කරමින් ඔවුන්ගේ ධාරිතාව විමසා ඇති බවත්, දැනට සපයන ප්‍රමාණයට වඩා තුන් ගුණයක ධාරිතාවක් තමන්ට ඔක්සිජන් සැපයිය හැකි බව එම සමාගම් තහවුරු කළ බවත් වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

Exit mobile version