“ මම බොරු කිව්වා “ – කෝප් කමිටුවට ආපු ලංවිම සභාපතිට වෙච්චි දේ…

ජනපතිට එල්ල වුණු ඉන්දීය බලපෑම ගැන තමන් කී කතාව බොරු බව එකපාරක් කියා දෙවැනි පාරත් තහවුරු කරයි...

අදානි සමූහ ව්‍යාපාරයට සුළං බල ව්‍යාපෘතියක් ලබා දෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉල්ලා සිටින්නේ යැයි   ජනාධිපතිවරයා තමාට පැවසූ බවට  පාර්ලිමේන්තු  කෝප් කමිටුවට ප්‍රකාශ කලේ  වැරදීමකින්   බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති  එම්.එම්.සී.  ෆර්ඩිනැන්ඩෝ   පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ “නිව්ස් ෆස්ට් “ රූපවාහිනී නිලිකාව ඔහුගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

එහිදී  ලංවිම සභාපතිවරයා කියා  ඇත්තේ සිකුරාදා (10) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සැසියේදී තමාට චෝදනා එල්ල වූ විට තමන් දැඩි ලෙස හැඟීම්බර වූ බවයි.

කෝප් කමිටු සැසියේදී තමාට බලපෑම් එල්ල වූ බව පැවසූ ඔහු තමන් කළේ අසත්‍ය ප්‍රකාශයක්  බව පිළිගෙන ඇත.


“මම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තා,” ඔහු  පවසා තිබිණි.

අද  (11) පෙරවරුවේ අමාත්‍යවරයා මේ පිළිබඳව තමන්ගෙන් විමසූ විට තමා එවැනි ප්‍රකාශයක් කළේ වැරදීමකින් බව  යළි තහවුරු කළේ යැයි  ලංවිම සභාපති  එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ පැවසීය.

භාණ්ඩාගාර ලේකම්වරයා වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංවිම සභාපතිවරයා කියා සිටියේ එය ආයෝජන මණ්ඩලයට සම්බන්ධ කටයුත්තක් බැවින් තමන් එය යොමු කළ බවය.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සිකුරාදා (10) පාර්ලිමේන්තු කෝප් කාරක සභාව  වෙත ප්‍රකාශ කළේ, මන්නාරම සුළං විදුලි බලශක්ති ආයෝජන ව්‍යාපෘතිය අදානි සමූහ ව්‍යාපාරයට ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කරන බව ජනාධිපතිවරයා තමාට පැවසූ බවයි.

සිකුරාදා (10) පාර්ලිමේන්තුවේ පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකින් අනතුරුව  ජනාධිපතිවරයා විසින් තමා කැඳවා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙගා වොට් 500ක්  වූ සුළං බලාගාරය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට  දෙන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි    පැවසූ බවය.

“මෙය මට හෝ විදුලිබල මණ්ඩලයට සම්බන්ධ කාරණයක් නොවන බවත් එය ආයෝජන මණ්ඩලයට යොමු කළ යුතු බවත් මම ඔහුට (ජනාධිපතිතුමාට) කීවෙමි,” ඔහු කෝප් කමිටුවට පැවසීය.

ඉන් අනතුරුව තමන් භාණ්ඩාගාර ලේකම්වරයාට මේ සම්බන්ධව  ලිඛිතව දැනුම් දුන් බවත්, මේ සම්බන්ධයෙන් රජයේ අවශ්‍යතාවයක්   ඇති බවත් සඳහන් කරමින් ඒ පිළිබඳව සොයා බලන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි බවත් ලංවිම සභාපතිවරයා පැවසීය.

අනතුරුව ලංවිම සභාපතිවරයාගේ ප්‍රකාශය ජනාධිපතිවරයා  තරයේ ප්‍රතික්ෂේප කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මන්නාරමේ සුළං බල ව්‍යාපෘතියක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටු   විභාගයකදී   ලංවිම සභාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය, කිසියම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට මෙම ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමට අවසර දීම,  මම තරයේ ප්‍රතික්ෂේප කරමි. මේ සම්බන්ධයෙන් වගකීම් සහගත සන්නිවේදනයක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි, ”ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

Exit mobile version