මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට මන්ත්‍රීවරියන් ලක්වීම ගැන සුදර්ශනී කථානායකට ලියයි

sudarshani fernandopulle

පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ.

පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් සිය ලිපිය යොමු කර ඇති සභාපතිනිය සදහන් කර ඇත්තේ මීට පෙර අවස්ථාවලද වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සිදුවී ඇති බවය.

කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය අවම මට්ටමක පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවට ‌තේරී පත්වූ මන්ත්‍රීවරියන් 12 දෙනාගේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ නිකුත් කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමට කථානායකවරයාගේ කාරුණික අවධානය යොමුකරන ලෙස පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.


එම සිදුවීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක යහපත් පූර්වාදර්ශයක් නොවන බවත් නීති සම්පාදනයට දායක වන මහජන නියෝජිතවරියන් කාන්තාවක් වීම තුළ එම ස්ථානය තුළදීම හිංසනයට ලක්වන්නේ නම් එමගින් පෙන්නුම් කරනුයේ සමස්ථ සමාජයක පරිහානිය බවත් ඇය පෙන්වා දෙයි.

ගෘහස්ථ, පොදු මගී සේවා, මහමග සහ වෘත්තීය ස්ථානයේ දී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන හිංසනයන් පිළිබදව සාකච්ඡා කෙරෙන, එවැනි දෑ වැළැක්වීමට කටයුතු කරන උත්තරීතර ආයතනයක මන්ත්‍රීවරියන්ට එරෙහි වාචික හිංසනය සිදුවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සභ්‍යත්වය අගයන කිසිවෙකු අනුමත නොකරන්නක් බවද ඇය පෙන්වා දී ඇත.

සිය ලිපිය මගින් ඇය වැඩිදුරටත් කියාසිටි‍න්නේ මෙවැනි තත්වයක් තුළ ජනගහනයෙන් 52%ක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැනබැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යයි තමන් නොසිතන බවයි.

සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුනම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යන් කොටසක් ලෙස සමාජීය වශයෙන් මෙන්ම ආගමික, සහ නීතිමය රාමු තුළත් අර්ථ දැක්වීමට උත්සාහ කිරීම තුළින් හදුනාගත හැකි බව ඇය කියාසිටී.

එබැවින් එය පැහැදිලිවම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම් වල නිරත වීම අධෛර්යය කරන්නක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

කාන්තාවන්ට දේශපාලනයේ යෙදීමට තිබෙන හිමිකම පිළිගැනීම, කාන්තාවන් වීම හේතුවෙන් දේශපාලන කාර්යයේදී අවමානයට ලක් නොකිරීම, කාන්තාවන්ගේ දේශපාලන හිමිකම් උල්ලංඝනය නොකිරීම සහ සමාන පාර්ශවකරුවන් ලෙසින් කාන්තාවන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය ස්ථාපිත කිරීම, ප්‍රවර්ධනය කිරීම දියුණු දේශපාලන සංස්කෘතියක් අගයන සමාජයක අපේක්ෂාව විය යුතු බව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කථානායකවරයා වෙත යවන ලද ලිපිය මගින් පෙන්වා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සංකීර්ණ සමාජීය ගැටලුවක් මෙන්ම මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් බවට අද පත්ව ඇති බවත් කායික, වාචික හෝ මානසික හානියක් සිදු කරන ඕනෑම ක්‍රියාවක් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලෙස නිර්වචනය කළ හැකි බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. මෙහිදී කථානායකවරයාගේ විශේෂ අවධානයට ලක්කරමින් සදහන් කර ඇත්තේ වාචික අපයෝජන, තර්ජනය කිරීම, අපහාස කිරීම, විවේචනය කිරීම, හාස්‍යයට උපහාසයට ලක් කිරීම බහුල වශයෙන් දැකිය හැකි අතර එය උත්තරීතර පාර්ලිමේන්තුව තුළද සිදුවීම කණගාටුදායක තත්වයක් බවයි.

Exit mobile version