මනම්පිටියේ වැලි සමාගම වනජීවී සංරක්ෂණ අරමුදලට ගෙවූ කෝටි 40 කට වුණ දෙයක් නෑ…

කොටි 40 පිල්ලි ගිය හැටි විගණනය වනජීවියෙන් ප්‍රශ්න කරයි...

ලලිත් චාමින්ද –

මනම්පිටිය වැලි කැණිම් හා අලෙවිකරණ පුද්ගලික සමාගම විසින්  වනජිවි සංරක්ෂණ අරමුදලට සුපෝෂණ හා  වෙනත් සංරක්ෂණ කටයුතු සඳහා ගෙවා තිබු රුපියල් 38, 83,07025 ( තිස් අට කෝටි අසූ තුන් ලක්ෂ හත් දහස් විසිපහ) මුදල වැය කරන ලද්දේ කුමන කාර්යක් සඳහා ද යන්න  වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විගණනයට තහවුරුකිරීමට අපොහොසත්ව තිබු බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.

වැලි ලබාගැනීමට යටත්වන  අභයභූමියේ  වාසස්ථාන හා සුපෝෂණ හා  වෙනත් සංරක්ෂණ කටයුතු සදහා 2008 වර්ෂයේ අප්‍රේල් මස සිට 2020 ජුලි මස දක්වා  අදාල සමාගම විසින්  මෙම මුදල  වනජීවි සංරක්ෂණ අරමුදලට බැරකොට තිබුණි.

වැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන  ප්‍රදේශයේ අභ්‍යයන්තර මාර්ග හා  ගං ඉවුරු පුනරුත්ථාපනය සඳහා  වැලිකියුබ් 01කින් රුපියල් 40 බැගින් 2016 වර්ෂයේ සිට 2020 වර්ෂයේ ජුලි දක්වා කාලය තුළ 2,71,18,020ක ( දෙකෝටි හැත්තෑ එක් ලක්ෂ දහ අට දහස්, විස්ස) මුදලක් වෙන්කොට තිබුණි. එහෙත්  මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අදාල මුදල යෙදවීමට පියවරගෙන නොතිබු අතර  වැලි ව්‍යාපෘතිය ඇතුළත  මාර්ග ද වලවල් හෑරි අබලන්ව පැවති බව විගණනය මගින්  අනාවරණය කොට ඇත.


ජල ගැලීම් පාලනය කිරීම වැලි ව්‍යාපෘතියේ  එක් අරමුණක් වී තිබුණි. එහෙත් ඒ සඳහා ක්‍රමවත් සැලැස්මක් මත වැලි කැණිම් ගංවතුර පාලනයට අවශ්‍ය ආකාරයට  සිදුනොකිරීම නිසා වාර්ෂා කාලයේ දී  ජලගැලීම් සිදුවීම දිගින් දිගටම සිදුවී තිබුණි.  මනම්පිටිය පාළමෙන් ඉහළ ප්‍රදේශයේ  කි.මි.2.7ක ප්‍රමාණයක් දක්වා පමණක් වැලි ඉවත් කිරීම සිදු කර තිබිණි.

එමෙන්ම මනම්පිටිය වැලි නිකුත් කිරීමේ  ව්‍යාපෘතියේ  වැලි නිකුත් කිරිමේ දී 2019 නොවැම්බර් මස  දක්වා අනුගමනය කළ ක්‍රමවේදය හා 2021 ජනවාරි වන විට අනුගමනය කරමින් පවතින ක්‍රමවේදයන් පිළිබඳ සමාගම විසින් අනුමත කර විධිමත් පරිදි ලේඛණගත කිරීමට කටයුතුකර නොතිබුණි. ඒ අනුව අනුමැතියක් රහිතව  වැලි මංකඩ සඳහා කම්කරුවන් යොදවා  වැලිකැණිම් කිරීමට  නිදහස් ට්‍රිපර් රථ සංගමයේ සාමාජිකයින් වෙත  අවස්ථාව ලබා දී තිබු බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම නිදහස් ට්‍රිපර් රථ සංගමයේ  නියෝජිතයින්   කම්කරුවන් යොදවා වැලි කැණිම් සඳහා  වැලිමංකඩ භාරදීම විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයන්  අනුගමනය කර නොතිබුණි. එක් එක් සාමාජිකයින් වෙත  අදාල මංකඩ ලිඛිතව පැවරිමට හෝ  ලිඛිත ගිවිසුම්වලට එළඹීමට කටයුතු කර නොතිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැණිම් කරනු ලබන වැලි ප්‍රමාණයෙන්  සියයට 50ක් නිදහස් ට්‍රිපර් රථ සංගමයේ  වැලිමංකඩ නියෝජිතයින්ට ලැබී තිබිම හේතුවෙන්  වැලි සැපයුම වැඩිකර තම ප්‍රතිලාභය උපරිම කරගැනිමේ අවස්ථාව  නියෝජිතයින්ට ලැබි තිබු බව ද විගණන වාර්තාවේ සඳහන්ව ඇත.

Exit mobile version