වැලිත් හිඟවන හැඩ… මනම්පිටියේ වැලි සමාගම දූෂිතයි… ටිපර් හිමියෝ වැඩ නවත්වා උද්ඝෝෂණයක…

මේ උද්ඝෝෂණය කරන්නෙ ටිපර්කරුවන්ට හිතූ මතේ ජාවාරම් කරන්න බැරි නිසා.. වැලි සමාගම කියයි!

මනම්පිටිය නිමල් ජයරත්න –

රජයට අනුබද්ධ සමාගමක් වූ මනම්පිටිය පුද්ගලික වැලි සමාගම  දූෂිත   සමාගමක් බවත්, නීත්‍යානුකූලව ලියාපදිංචි ව්‍යාපාරිකයන්ට වැලි නොදී  පිටස්තර කළු  කඩ ව්‍යාපාරිකයන්ට වැඩි මිලට වැලි ලබදෙන මේ දූෂිත ක්‍රියාවලිය නිසා තමන් බරපතල අර්බුදයකට පත් වී ඇති බවත් කියමින් අද (18) දහවල් පොලොන්නරු දිස්ත්‍රික් ටිපර් රථ හිමියෝ මනම්පිටිය පුද්ගලික වැලි සමාගම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

“ සී.ඕ. හොරාගේ හොර වැලිකඩ වහා නතර කරනු,“  “මනම්පිටිය වැලි සමාගමේ හොර නඩය එළවමු“   “වැලි කම්කරුවා මංකඩ හිමියා සුරක්ෂිත කරවු“ “ අපට ලබාදුන් 75% වැලි කෝටාව නැවත ලබා දෙනු“ “ පොලොන්නරුව මහවැලි ගඟේ වැලි ආදායම නුගේගොඩට“ ආදී සටන් පාඨ පුවරු උද්ඝෝෂකයෝ ප්‍රදර්ශනය කරමින් සිටියහ.

වැලි සමාගම විසින් පරිසර  අමාත්‍යාංශයත් පොලොන්නරුව දිසාපතිවරයාත්  ලබාදුන් උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරන බවත්, නිර්දේශ කර ඇති පරිදි   දෛනිකව  මහවැලි ගඟේ මනම්පිටියෙන් ගොඩදමන වැලිවලින් සියයට 75ක් තමන්ට නොදෙන බවත් උද්ඝෝෂකයෝ කීහ.


මනම්පිටිය වැලි සමාගම වැලි කියුබ් එකක මිල ඉහළ දැමුවද එහි වාසිය වැලි මංකඩ   ලාභීයාටත්, වැලි ගොඩ  දමන කම්කරුවටත් නොලැබෙන බව පවසන උද්ඝෝෂකයින් තමන්ට සොච්චමක් වැඩිකර ඉතිරි මුදල වැලි   සමාගම ගසාකන බවද  කීවේය.

වැලි සමාගම ඉදිරිපිට  මාර්ගය  නඩත්තු කිරීම් සඳහා සෑම වැලි කියුබ් එකකින්ම රුපියල්  40 ක මුදලක් අය කෙරුවද එදා මෙදා තුළ  කිසිදු අවස්ථාවක  එම මාර්ගය නඩත්තු  නොකරන බව උද්ඝෝෂකයෝ කීහ.

“ඒ සල්ලිවලට වෙන්නෙ මොනවද කියලා හොයන්න.“ ඔවුහු රජයෙන් ඉල්ලා සිටියහ.

“මේ වැලි සමාගම සිදුකරන සියලු අසාධාරණකම් නවතා දමන තෙක් අපි අරගල කරනවා.“   දිස්ත්‍රික් වැලි ටිපර් හිමිකරුවන්ගේ සංගමය සභාපති වසන්ත  බණ්ඩාර ලංකාසරට කීවේය.

පොලොන්නරුව දිස්ත්‍රික් වැලි ටිපර් හිමිකරුවන්ගේ සංගමය නගන චෝදනාව සම්බන්ධයෙන්  මනම්පිටිය වැලි කැණීම්   ව්‍යාපෘතියේ කළමනාකාර එන්.ඒ. රංජිත්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙලෙස පැවසීය.

“මනම්පිටිය මහවැලි ගඟෙන් හිතෙන පරිදි වැලි   ගොඩ දාන්න අපට බෑ. මේක  ස්වභාවික  සම්පතක්.  නමුත් අපි පොළොන්නරුවේ වැලි ටිපර් සඳහා ගොඩදාන වැලි වලින් සියයට අසූවක්ම ලබා දෙනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“පොළොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති සඳහාත් අපි වැලි ලබා දෙනවා. ඉස්සර වගේ මෙතන වැලි ටිපර් කරුවන්ට විවිධාකාර ජාවාරම් කරන්න බෑ.  ඒ අයට නිදහසේ මෙතන ජාවාරම් කරන්න බැරි නිසයි  ඔය  උද්ඝෝෂණයක කරන්නේ. අනික ඒ අය  මෙතනින් වැලි කියුබ් තුනක්  රුපියල් 15,000 ක  වගේ මිලකට අරන් පොලොන්නරුව ඇතුළෙම   රුපියල්  50,000 කට අලෙවි කරනවා. ඒක හරි  අසාධාරණයි .“

 

Exit mobile version