පොලිසිය විසින් කුඩු හෝ ගංජා මත්ද්‍රව්‍ය දමා අත් අඩංගුවට ගෙන සාපරාධී ලෙස මත්ද්‍රව්‍ය නඩුවලට පටලවා උසාවිය වෙත ඉදිරිපත් කර වරදකරුවන් කළ බව පැවසෙන පුද්ගලයින් රැසකගේ ලිඛිත පැමිණිලිවලින් පොලිස් කොමිසමේ මහජන පැමිණි අංශය පිරී ඇතැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මේ වනවිට පොලිස් කොමිසම වෙත දිනපතා එක්වෙමින් ඇති පැමිණිලි සම්බන්ධව විශේෂ අවධානය යොමු වන්නේ පොලිසියට එල්ලවන රාජකාරි පීඩනය මත මෙවැනි සාවද්‍ය මානුෂික අපරාධ සිදුවෙමින් ඇති බවට පොදුවේ සමාජයේ පැතිරෙන මතය හා මේ පැමිණිලි අතර සම්බන්ධයක් පවතීදැයි විමසීම සඳහා බවද එම ආරංචි මාර්ග කියයි.
මෙම පැමිණිළි කරුවන් සියලු දෙනාම උසාවියට ඉදිරිපත් කර වරදකරුවන් කර ඇති බැවින් තත්ත්වය සංකීර්ණ බවත්, මේ වනවිට ඒ තත්ත්වයන් සම්බන්ධව පොලිස් කොමිසම නීති අධ්‍යයනයක්කරමින් සිටින බවත් වාර්තා වේ.
පසුගිය දිනක ගංජා දමා තරුණ පිරිසක් අත් අඩංගුවට ගැනීමට සූදානම් වූ බව කියන කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ බරපතල සංවාදයක් ඇති විය. මේ වනවිට ඉන් එක් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.







