බේබදු රියදුරන් අල්ලන බැලුන්වලින් පොලිස් ලොක්කෙක් ගහන්න ගිය සුපිරි ගැහිල්ල පොලිස්පති නිසා නවතී…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බීමත්ව රිය පදවන රියදුරන් හඳුනාගෙන නීතියේ රැහැනට හසුකර ගැනීමට යොදා ගන්නා ඇල්කොලයිසර් නැමැති පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ කටයුත්තේ දී පොලිසියේ උසස් නිලධාරියෙක් වැඩි මිලකට එම පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමට වූ සූදානමක් ගැන පොලිස් මූලස්ථානයට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාද යම් විමර්ශනයක් ආරම්භකර ඇති බව පොලිස් අභ්‍යන්තර තොරතුරු සඳහන් කළේය. රියදුරන් විසින් බැලුම් යැයි සාමාන්‍ය වහරේ සඳහන් එම පරීක්ෂණ නල 10 ක කට්ටලයක් මිල නියම වන්නේ රුපියල් 3500 ක් හෝ ඒ ආසන්න මිලකටය. එහෙත් මෙම පරීක්ෂණ කට්ටලවල ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය පරීක්ෂා කර බැලීමට සිටින පොලිස් කමිටුවේ ප්‍රධානියෙක් එක්තරා සමාගමක පරීක්ෂණ කට්ටල ප්‍රමිතිගතබව සඳහන්කර එම සමාගම හා සම්බන්ධවෙමින් එක් පරීක්ෂණ කට්ටලයක මිල රුපියල් 1000 කින් පමණ ඉහළ යවා එම මුදල ඔහුගේ සාක්කුවට දමා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානයට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

වරකට මෙවැනි පරීක්ෂණ කට්ටල් 500000 ත් 75000 ත් අතර ප්‍රමාණයක් වර්ෂයට දෙවරක් මිලදී ගන්නා බවද පොලිස් රථවාහන අංශයේ තොරතුරු සඳහන් කළේය. සිදුවන්නට ගිය විශාල මුදල් වංචාවක් පොලිස් මූලස්ථානයට තොරතුරු ලැබී පොලිස්පතිවරයා විසින් වැලැක්වීම නිසා මගහැරී ගිය බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය

Exit mobile version