දිනසේන රතුගමගේ
කිළිනොච්චියේ ප්‍රදේශ ගණනාවක කුඹුරු අතර පැතිර යන දිලීර රෝගයක් බවට සැක කරන රෝගයකින් මේ වන විට පළාතේ කුඹුරු අක්කර 800කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කිළිනොච්චිය පරන්තන් වී අභිජනන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ශිවනේසන් පැවසීය.
එම රෝගය ඉතා සීඝ්රයෙන් පැතිර යාමත් සමගම කිළිනොච්චියේ කෘෂිකර්ම බලධාරීන් ඒ බව බතලගොඩ වී පර්යේෂණ මධ්‍යස්ථානය වෙත දැණුම් දී ඇති අතර එහි අධ්‍යක්ෂක ජයන්ත සේනාන්නයක ඇතුළු කණ්ඩායමක් කිළිනොච්චියට පැමිණ රෝගය පිළිබඳව පරීක්ෂණ පවත්වා තිබේ.
කුඹුරුවල ගොයම් අතර පැතිර යන රෝගය කුමක්දැයි එම නිලධාරීන්ට හදුනා ගැනිමට නොහැකි වී ඇති අතර රෝගය වැළදුණු ගොයම් ගස් පර්යේෂණ කටයුතු සදහා රැගෙන ගොස් තිබේ.
රෝගය වැළදී ඇත්තේ අස්වැන්න නෙලීමට ආසන්නයේ ඇති කුඹුරු වලට වන අතර රෝගය වැළදුණු වී කරල් බොල් ස්වභාවයෙන් හා අව පැහැයෙන් යුක්ත වීම මෙම රෝගයේ රෝග ලක්ෂණය වී තිබේ.
කිළිනොච්චියේ ගොවි සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කරන්නේ මෙම කුඹුරු යායවල් පැල ගොයම් කාලයේදී බුරවි සුළි කුණාටුව සමග හටගත් වර්ෂාවට දින කීපයක්ම යට වී තිබූ නිසා එම ගොයම් වලට මේ හදුණාගත නොහැකි රෝගය වැළදෙන්නට ඇති බවයි.