බිත්තර ප්‍රශ්නය විසඳන්න… නැතිනම් සිංහල අවුරුද්දට කේක් කාලා ඉවරයි! – බේකරි හිමියෝ කියති…

කීර්ති ප්‍රනාන්දු

අප්‍රියෙල් මාසයට පෙර බිත්තර ගැටලුවට සාර්ථක විසඳුමක් නොලැබුණහොත් එළඹෙන සිංහල අවුරුදු උත්සවය සමයේදී කේක් නිෂ්පාදනය අඩාලවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් . කේ. ජයවර්ධන පවසයි .

අඩුම තරමින් බිත්තරයක් රුපියල් 35 ක මිලකට වත් බේකරි වලට ලැබෙන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 800ත් 900ත් වැනි මිලකට පාරිභෝගිකයා හට ලබා දීමට හැකි වන බව ද ඔහු කියා සිටියේය. .

පවතින බිත්තර හිඟය හා මිල ඉහළ යාමට විසඳුමක් වශයෙන් වෙළඳ අමාත්‍යාංශය මැදිහත් වී බිත්තර ආනයනය කිරීමට පියවර ගනු ලැබූවත් දේශීය බිත්තර සංගම් රජයේ එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ක්‍රියා කිරීම නිසා රටින් බිත්තර ගෙන ඒම ප්‍රමාද වී ඇතැයි ඔහු කීවේය. .

මේ තත්ත්වය හේතුවෙන් තවමත් රුපියල් 50ක් වැනි වැඩි මිලකට බේකරි හිමියන්ට බිත්තර මිලදී ගැනීමට සිදුවී ඇතැයි පෙන්වා දෙන සභාපතිවරයා බිත්තරයක් රුපියල් 50ට වැඩිය මිලදී ගැනීමට සිදු වුවහොත් අනිවාර්යයෙන්ම කේක් කිලෝවක් රුපියල් 1200 ත් 1500 වැනි මිලකට අලෙවි කිරීමට සිදුවනු ඇති බවද කීවේය .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනකට බේකරි වලට පමණක් බිත්තර ලක්ෂ 30ක් පමණ අවශ්‍ය වන බව පවසන සභාපතිවරයා කේක් නිෂ්පාදනයේ දී අවශ්‍ය වන අමුද්‍රව්‍ය වලින් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් කේක් වල අඩංගු වන්නේ බිත්තර බවද ඒ නිසා පවතින බිත්තර හිඟය කේක් නිෂ්පාදනයට දැඩිව බලපාන බවද කියා සිටී .

Exit mobile version