දිනසේන රතුගමගේ –
අගෝස්තු මස 3 වෙනිදා කැනඩාවේ රැකියාවකට යාම සදහා බැංකුවෙන් රුපියල් ලක්ෂ 20 ක් රැගෙන නිවසට පැමිණ සිටි තරුණයෙකුගේ මළ සිරුර මුලතිව් වවුනිකුලම් වැවේ තිබියදි පොලීසිය විසින් ඊයේ ( 30 ) සොයා ගෙන ඇති අතර ඔහු ගෙනැවිත් තිබූ ලක්ෂ 20ක මුදල අතුරුදහන්ව ඇත.
මුලතිව් යෝගපුරම් මල්ලාවි ප්‍රදේශයේදී 27 හැවිරිදි ආනන්දරාසා සජීවන් නැමති මෙම තරුණයාගේ මරණය අබිරහසක් වී ඇති අතර ඔහු මියයාමට පෙර මිතුරන් වෙත ගන්නට ඇතැයි සැකකෙරෙන දුරකතන පණිවුඩ ගණනාවක්ම පොලිස් පරීක්ෂණ වලදී සොයා ගැනීමට හැකි වී ඇත.
වවුනිකුලම් වැව අසලින් ගිය පිරිසක් වැව් කණ්ඩිය අසල යතුරු පැදියක් හා සරමක්ද පාවහන් යුගලක්ද තිබෙනු දැක ඇති අතර වැව අසල කවරෙකුවත් දැක ගන්නට නොමැති නිසා ඇති වූ සැකයක් මත ඒ බව පාණ්ඩියන්කුලම් පොලීසියට දැනුම් දී තිබේ.
පොලිසිය පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහය මත වැව නිරීක්ෂණය කිරීමේදී තරුණයාගේ මළ සිරුර හමු වී තිබේ.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ස්ථානීය මරණ පරීක්ෂණය පවත්වා මියගිය තරුණයාගේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට මෙම මරණය සැක සහිත බව ප්‍රකාශ කොට තිබේ.
බැංකුවෙන් ලබා ගත් බව කියන රුපියල් ලක්ෂ 20 ක මුදලද අතුරුදහන් නිසා එම සැකය තවත් වැඩි බවද පවුලේ ඥාතීන් මේ අවස්ථාවේදී පවසා ඇත.
පසුව මහේස්ත්‍රාත්වරයා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කොට එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස පොලීසියට නියෝග කළේය.
පාණ්ඩියන්කුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.







