බහුතර කැමැත්තෙන් රටවල් වැනසෙන හැටි ගැන මැකො කියයි

බහුතරයේ කැමැත්ත, සත්‍යය ලෙස සළකා ඒ වෙනුවෙන් පෙනී සිටිමින් බහුතරයේ කැමැත්ත මත රට සම්පූර්ණයෙන් පාලනය කිරීම, තුන්වැනි ලෝකයේ රටවල විනාශයට හේතු වී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ අරුත පිළිබඳ වැඩමුළුවකදී අවධාරණය කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“අපේ රටේ බොහෝ දෙනෙක් දැන් කියන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කියන එක වැඩක් නෑ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය එපා කියන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රියා කරන අය ද්‍රෝහීන්.


මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? හැමෝම කියන්නේ ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරීම කියලා. ඒක අපි තෝරාගන්නේ කොහොමද? බහුතර කැමැත්ත මත. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත මද?

අපේ ඕනෙම පිරිමි ස්කෝලෙක වුණත් ඉන්නේ කවුද? මැඩම්ලා මිස්ලා නේ. ඒගොල්ලොනේ වැඩිපුරම ඉන්නේ. අපි ඡන්දයක් තියෙනවා අඳින්න ඕන මොකද්ද කියලා. ටීචර්ලා ඔක්කොම කියනවා සාරි අඳින්න ඕන කියලා. එතකොට අපේ සර් මට මොකද වෙන්නේ? බහුතරය නොවන සර්ලටත් අඳින්න වෙනවා සාරි. අපේ හාමුදුරුවන් වහන්සේටත් එහෙම වුනොත් සාරි තමයි අඳින්න වෙන්නෙ. බහුතර කැමැත්ත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත ම නෙමෙයි. බහුතරයේ කැමැත්ත සුළුතරයට අගතියක් නොවන සේ ක්‍රියාත්මක කිරීම. තුන්වැනි ලෝකයේ රටවල් විනාශයට ප්‍රධාන හේතුව බහුතරයේ කැමැත්ත තමයි සත්‍යය කියන එකෙන් අදහස් කරගෙන ඒ වෙනුවෙන් පෙනී සිටිමින් බහුතරයේ කැමැත්ත මත රට සම්පූර්ණයෙන් පාලනය කිරීම. කිසිම විටෙක තමන්ගේ මතයට විරුද්ධ මතයක් දරන අයට ඉඩක් නොදීම ඊට සවන් නොදීම.” යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

Exit mobile version