බස් ගිනි තියන්න අත දරුවො වඩාගෙන පවුල් පිටින් එනව ද?… අනුර කුමාර දිසානායක අසයි…

මේ තත්වය ඇති කළේ ආණ්ඩුවමදැයි සැකයි...

බස් ගිනිතැබීමට අත දරුවන් වඩාගෙන පවුල් පිටින් එන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක අද ( 01) පැවසීය.  ඔහු කීවේ ඊයේ ජනතා උද්ඝෝෂණය තුළ ඇතිවූ  ප්‍රචණ්ඩකාරී ගැටුම රජයේ සැලසුම් සහගත ක්‍රියාන්විතයක් බවට සාධාරණ සැකයක් මතුවන බවය.

මේ රටේ පුරවැසියන් රාජපක්ෂලාගේ වහලුන් නොවන බවත්, ඔවුන් මේ අශිෂ්ට ජන පීඩක ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණය කිරීම අතිශය සාධාරණ බවත්  කී අනුර කුමාර දිසානායක    උද්ඝෝෂණ  අතිශය සංවිධානත්මකව සාමකාමීව සහ මෙහෙයුමකට යටත්ව සිදුකිරීමේ පුරවැසි වගකීම ඉටු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අද ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ ඊයේ ජනාධිපතිවරයාගේ නිවස වටලා කළ උද්ඝෝෂණයේ අවසන් ගැටුම්කාරී තත්ත්වය සැලසුම් සහගත ආණ්ඩුවේ උවමනාවක්දැයි ඉතා සාධාරණ සැකයක් දැන් රටට ඇති වී තිබෙන බවය.

එහිදී අනුර කුමාර දිසානායක මෙසේද පැවසීය.

“සමහර උද්ඝෝෂණ ඇතුළෙ ආණ්ඩුවට අවශ්‍ය දේම සිදුවිය හැකියි. ආන්ඩුවට අවශ්‍ය වී ඇත්තේ මේ ජනතාව විසින් ඇතිකළ විරෝධතාවය    යම් ප්‍රචණ්ඩකාරී තැනකට වර්ධනය කරගන්න.  එතකොට තමයි ගෝඨාභය රාජපක්ෂලට තමන්ට කෝකටත් තෛලය ලෙස යොදා ගන්න පුලුවන් හමුදා යාන්ත්‍රණය යොදවා ගන්න පුලුවන් වෙන්නෙ.“


“ ඊයෙ සිද්ධියෙදි අපි දැක්කා සාමාන්‍ය පුරවැසියන් කරන ලද උද්ඝෝෂණයකදි යම් පොදු දේපල ප්‍රමාණයකට හානි වී තිබෙනවා. ඒ   විනාශය ඉතාම සැලසුම් සහගතව ආණ්ඩුව විසින්ම ඇතුළු කරන ලද කණ්ඩායම් විසින්   සිදුකළාද කියන සාධාරණ සැකයක් දැන් අප කා තුළත් පැන නගිනවා.“

“අත දරුවො වඩාගත්තු අම්මලා ගෙදර හිටිය වැඩිහිටි අම්මලා තාත්තලා, දරුවයි බිරියයි ස්වාමියයි තුන්දෙනාම උද්ඝෝෂණයට ඇවිල්ලා මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට හවුල් වෙන්නෙ නැති බව අපි කවුරත් දන්නවා.“

“බස් ගිනි තියන්න කවුද අම්මයි තාත්තයි දරුවයි ඔක්කොම අරගෙන යන්නේ. කවුද තමන්ගෙ අත දරුවා වඩාගෙන එන්නේ.“

“ඒ නිසා මේ පොදු පුරවැසියන්ගේ සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව හිතා මතාම සැලසුම් සහගතව මැර  කණ්ඩායම්   යොදවලා මෙවැනි තත්වයක් ඇතිකළාද කියන සාධාරණ සැකය අපට තියනවා.“

“ඒ නිසා මේ ජනපීඩක ආණ්ඩුවට එරෙහිව ජනතා  උද්ෂෝණයන් කර එය පලවා හරින්නට බලකරනවා වගේම එම උද්ඝෝෂණයන් ඇතුළෙ සිදුවිය හැකි ආණ්ඩුවටම වාසි සහගත ආණ්ඩු විසින්ම ඇති කරනු ලබන ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමත් පොදු පුරවැසියන්ගේ වගකීමක්.“

“ ඒ නිසා මෙම උද්ඝෝෂණ පුලුවන්තරම් සාමකාමීව, පුලුවන්තරම් සංවිධානාත්මකව, පුලුවන් තරම් මෙහෙයුමකට යටත්ව සිදුකළ යුතුව තිබෙනවා. ඒ පිළිබඳව පොදුජනතාව සැලකිල්ලක් කරවි කියලා අප විශ්වාස කරනවා. මොකද  ආණ්ඩුවට අපි අවි සපයන්න හොද  නෑ.“

“ මා නැවත කියන්නෙ ආණ්ඩුව බලාගෙන ඉන්නෙ එවැනි තත්වයක් ඇතිකරගන්න. එවැනි තත්ත්වයක් ඇතිකරගැනීම ආණ්ඩුවට ඉතාම හිතරකර තත්ත්වයක්. ඒ නිසා   උද්ඝෝෂණය  කරන පොදු ජනතාවත් ඒ පිළිබඳව අවධානය යොමුකරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.“

එමෙන්ම ඊයේ දිනයේ උද්ඝෝෂණයට සහභාගී වූ පුරවැසියන්ට නීති විරෝධීව පහර  දෙන්නට නියෝග දුන්නේ කවරෙක්ද යන්න සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් අනුර කුමාර දිසානායක කීවේය. පොලිස් ඇමති සරත් වීරසේකර හෝ ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනතාව විසින් පත් කර ඇත්තේ  ජනතාවට  මර්ධනය කරන්නට නොව ඔවුන්ව රැකගෙන ආරක්ෂා කරගැනීමට බවත් ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලබන්නේ කුමණ පදනමකින්දැයි   ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයින්වන සුනිල් හඳුන්නෙත්ති සහ ලාල් කාන්ත මිරිහාන පොලිසියට ගොස් ප්‍රශ්න කරමින් සිටින බවත්, අත්අඩංගුවට ගත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන් සමග අත්වැල් බඳගත් සියලුම නීතිඥ කණ්ඩායම් යොමු කර ඇති බවත් ඔහු පැවසුවේය.

Exit mobile version