“බස්නාහිර SDIG සතොස සුදුලූනු හොරකම හෙළි කළ  මාව හොරෙක් කරලා… “

සතොස ආයතනයේ සුදුළූණු හොරකම පිළිබඳව මුලින්ම හෙළිදරව් කළ තමන් එම  හොරකමේම  සැකකරුවකු බවට පත් කිරීම පිළිබඳව තමන් පුදුමයට පත්ව සිටින බවත් පොලිසිය විසින් කරන ලද මේ අභූත චෝදනාව පසුපස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා සිටින බවට තමන් විශ්වාස කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන  පවසයි.

තමන් මෙම නඩුවේ සැකකකරුවකු බවට පත්කොට විදේශ ගමන් පවා තහනම් කරන ලද බව තමන් දැන ගත්තේ පසුගියදා විදේශ ගත වීමට ගුවන් තොටුපළට ඇතුළු වූ පසුව බවත් තමන් මෙයට පටළවන්නට පොලිසිය උත්සාහ කරන්නේ ඊට සම්බන්ධ බවට චෝදනා එල්ලවන දේශපාලකයන් සතුටු කිරීමට බවත් ගුණවර්ධන   අද ඩේලි මිරර් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ.

එහිදී ඩේලි මිරර් මාධ්‍යවේදිනී නිර්මලා කන්නන්ගර  විසින් අසන ලද ප්‍රශ්න හමුවේ තුෂාන් ගුණවර්ධන   මෙසේ ප්‍රකාශ කර තිබේ.


“ පසුගිය ජනවාරි 21 වැනිදා මගේ පෞද්ගලික  ගමනක් සඳහා මා ගුවන් තොටුපළට ඇතුළු වී අදාළ කටයුතු නිම කර මගේ ගමන් බෑග් කවුන්ටරයට ලබා දී ආගමන විගමන කටයුතු සඳහා එම කවුන්ටරයට ගියා. එහිදී මගේ පාස්පෝට් එක පරීක්ෂා කළ නිලධාරීන් ඔබ ට රටින් පිටවීම තහනම් කර ඇති බව දැන්වූවා. මම පදුම වුණා. මේ මොකක්ද කියල විමසූ විට   ආගමන විගමන නිලධාරීන් දැනුම් දුන්නා   වැලිසර උසාවියේ නඩු අංකයක් මත සැකකරුවකු ලෙස මා නම්කර ඇති බව. ““

“මේ ගැන සොයා බැලුවාමයි දැන ගන්නට ලැබුණේ මා විසින්ම පොලිසියට මුලින් පැමිණිලි කළ සතොස ආයතනයේ සුදු ලූනු කිලෝ ග්‍රෑම් 56,000ක් වංචා සහගතව පිට කිරීම පිළිබඳව නඩුවේ මා ද සැකකරුවකු බවට පත් කර ඇති බව. මට පුදුම හිතුණා. මොකද මම තමයි මේ සොරකම සම්බන්ධයෙන් පැමිණි නිර්නාමික දුරකථන ඇමතුමක් මත එවකට පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසින් මේ සම්බන්ධයෙන් මුලින්ම පොලිසියට පැමිණිලි කළේ.“

“මා විශ්වාස කරනවා මා මේ වංචා පිළිබඳව මාධ්‍ය හමුවේ හෙළිරව් කරනවා ඉවසන්න බැරි අය තමයි මාව මේ සැකකරුවකු බවට පත් කිරීමට කටයුතු කළේ.“

“මේ වංචාම සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ ව අනාවරණය කරගත් කරුණු අනුව පූර්ණ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා. එවැනි තත්ත්වයක් තිබියදීයි ඔවුන් මේ ආකාරයට කටයුතු කරන්නේ.“

“පොලිසිය පිහිටුවා ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන්න.  ඔවුන් සම්බන්ධයෙන් නීතිය සාම ක්‍රියාත්මක කළ ඔවුන් ආරක්ෂා කරන්න. නමුත් අද පොලිසිය ප්‍රමුඛත්වය දෙන්නේ දේශපාලකයන් ආරක්ෂා කරන්නන්යි. මේ සිදුවීම පොලිසියේ ජ්‍යෙෂ්ඨයන් නොදැන වෙන්න බෑ. මෙය බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුම මත වුණු දෙයක් කියා මා විශ්වාස කරනවා. “ යයිද ඔහු තවදුරටත් පැවසීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ තමන් තවමත් මේ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසය තබන බවත් මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම්  පිළිබඳ  ද පෙත්සමක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

Exit mobile version