බන්ධනාගාර තදබදය සදුදා සිට අඩු කරන්න නීතිපති උපදෙස්

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ හදිසි තත්වයන් මත බන්ධනාගාර තුළ ඇති තදබදය කඩිනමින් අඩුකිරීම සඳහා මීට පෙර දී ඇති උපදෙස් අනුව වැඩපිළිවෙළක් සකස් කොට ලබන සඳුදා සිට ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඒ අනුව අනිද්දාට (3) පෙර එම වැඩපිළිවෙළ සකස් කර අවසන් කරන ලෙසට පොලිස්පතිවරයාට නීතිපති විසින් උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මෙම නියෝගය දී ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා විසින් නීතිපතිවරයා හමුවේ කළ ඉල්ලීමක් සලකා බැලීමෙනි.


අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ වසංගත තත්වය හමුවේ මතු වූ බන්ධනාගාර තදබදය ඉක්මනින් අඩු කිරීමේ හදිසි තත්වයන් මත ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

ඒ අනුව අද අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා සහ පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරු නීතිපතිවරයා හමුවී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ලබන සඳුදා වන විට රක්ෂිත බන්ධනාගාරගත වූවන් හැකි පමණ ඇප මත නිදහස් කර යැවීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම සඳහා කටයුතු කළ යුතු බවට එකගතාව පළ විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිකරුවන් සදහා නඩු පැවරීම සහ ඇප මත මුදාහැරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මීට පෙර පොලිස්පතිවරයාට නිර්දේශ ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නොමැති බවද බව ද කරුණු සොයා බැලීමේදී හෙළි වූයේ යැයි නීතිපතිවරයාගේ පාර්ශ්වය පෙන්වා දෙයි.

Exit mobile version