ලලිත් චාමින්ද –
අම්පේගම, මිරිස්වත්ත,කොටියකන්ද ප්‍රදේශයේ මිනිරන් ලබා ගැනිම සඳහා හාරනු ලැබු වලක වැටි සිටි දෙදරු මව ඇයව එම වළට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් තල්ලු කරනු ලැබුවේ යැයි කරන ප්‍රකාශය මත පදනම්ව පරීක්ෂණ අරඹා ඇති බවත්, ඇය විටින් විටි පරස්පර විරෝධී කතා පවසමින් ඇති හෙයින් පරීක්ෂණ කටයුතුවල ආරම්භය තරමක් ව්‍යාකූලවී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
බද්දේගම පොලිසිය පවසන්නේ මෙම කාන්තාව මිනිරන් වළට තල්ලු කළාද, ඇද වැටුණා ද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරික්ෂණයක් ආරම්භකොට ඇති බවය.
මෙම දෙදරුමවගේ මුහුණේ, හිසේ සහ තුනටියේ තුවාල තිබු බවද පොලිසිය පවසයි. කෙසේවුවද මෙකි කාන්තාව කරාපිටිය රෝහල් පොලිසියට ප්‍රකාශකොට ඇත්තේ නාදුනන අයෙකු විසින් තමන්ට පහරදි වලට තල්ලුකළ බවය.
එම නාඳුනන පුද්ගලයා ජංගම දුරකථනය මගින් හදුනාගත් බවත් එහෙත් ඔහු පිළිබදව කිසිවක් නොදන්නා බවත් කාන්තාව රෝහල් පොලිසියට ප්‍රකාශකොට ඇත.
තමන් මිනිරන්වලට තල්ලුකරන අවස්ථාවේ ඒ අසල තවත් දෙදෙනෙකු සිටි බවට ඇය රෝහල් පොලිසියට ප්‍රකාශකොට ඇත. කෙසේවුවද බද්දේගම පොලිසිය සඳහන් කරන්නේ මෙම කාන්තාව වරින්වර විවිධ ප්‍රකාශ කරන බවය.
ඇයගෙන් අද (20) දින මේ පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබා ගන්නා බවද පොලිසිය පවසයි. ඒ අනුව ඇය මිනිරන් වලට වැටුනාද නැතහොත් කිසියම් අයෙකු විසින් තල්ලුකරදමා ගියාද යන්න පිළිබද අනාවරණය කරගත හැකි බවද පොලිසිය පවසයි.
මෙම දෙදරුමව 39 හැවිරිදිවියේ පසුවන තැනැත්තියකි. ඇයගේ මුල්පදිංචිය අම්බලන්ගොඩ ප්‍රදේශය වන අතර පසුව සැමියා හා දරු දෙදෙනා සමග බද්දේගම පෙඩ්රුක්වත්තේ පදිංචියට පැමිණ ඇත.
මෙම කාන්තාවගේ සැමියා මුදල් වංචාවක් සම්බන්ධයෙන් සිරගතව සිටින බව පොලිසිය පවසයි. මිට දින 03කට පමණ ඉහතදි ඇය නිවසින් පැමිණ ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
ඊයේ (19) පෙරවරුවේ ලී කැපිම සඳහා කැළයට ගිය තරුණයින් දෙදෙනෙකුට කාන්තාවකගේ කෙදිරිලි හඩ ඇසි ඇත. පසුව ඔවුන් මේ බව පොලිසියට දැනුම් දිමෙන් පසු අඩි 45ක පමණ ගැඹුරු වලක වැටි සිටි මෙම දෙදරුමව කඹයක පුටුවක් ගැට ගසා පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යොමු කිරිමට පොලිසිය විසින් කටයුතු කරණු ලැබිය.
මිනිරන් වලෙන්ගොඩට ගන්නා අවස්ථාවේ දි ඇය අසාධ්‍ය තත්වයෙන් පසුවු බව පොලිසිය කීවේය. බද්දේගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දුගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ.