“පොහොට්ටුව ආණ්ඩුවක යළි මර්වින්ලා සජින් වාස්ලා වැනි අයට ඉඩක් නෑ”

පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කියයි

“කුරුණෑගල පුරපතිට වෙන දේ දැන්ම කියන්න බෑ”

පොදුජන පෙරමුණ යටතේ බිහිවන ආණ්ඩුවක යළි කවදාවත් මර්වින් සිල්වලා සජින් වාස් ලා වැනි පුද්ගලයන් ඇතුළත් නොවනු ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

අද දින ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ පසුගිය පරාජයන් සම්බන්ධයෙන් සහ ඊට බලපෑ කරුණු පිළිබඳ ව තමන් හොඳින් හැදෑරු බවය.


එම සම්මුඛ සාකච්ඡාවේදී මාධ්‍යවේදීනිය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ 2015 මහින්ද රාජපක්ෂ මහතා ගේ රජය යා යුතු බවට ජනතාව තීන්දු කළ පසු ඔවුන්ට යන්නට සිදුවූ බව එසේ ගොස් යන්නට සිදුවූ හේතු නිසි ලෙස අධ්‍යයනය කොට ඒවා නිවැරදි කර ගැනීමට පසුගිය කාලය ගත කළ බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යටතේ බිහිවන ආණ්ඩුව දූෂණයෙන් තොර එකක් බවට සහතික වන බවද පවසන බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ මේ වනවිට පොදු ජන පෙරමුණ යටතේ පවතින ප්‍රාදේශීය සභා හතරක සභාපතිවරුන් ඉවත් කිරීමට ද පියවර ගත් බවයි.

“කොහොම වුණත් අපි මේ දවස්වල වැඩ කරන්නේ බොහොම පරෙස්සමින්. මොකද මේක මැතිවරණ සමයක් . අපේ අපේක්ෂකයන් කිසිවකුට හානියක් වෙන්නට ඉඩ දෙන්න බැහැ. නමුත් මහ මැතිවරණය අවසන් වූ වහාම අපි දැනට පැමිණිලි ඇති අය ගැන තීන්දුවක් ගන්නවා. එසේ වුවද මේ වනවිට පැමිණිලි ලැබී ඇති කුරුණෑගල නගරාධිපති සම්බන්ධයෙන් ගන්නා තීන්දුව පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු සඳහන් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් විසින් බිහි කරන ලද පක්ෂය අනාගතයේදී චීන කොමියුනිස්ට් පක්ෂය වැනි පක්ෂයක් වනු දැකීම හෝ භාරතීය ජනතා පක්ෂය වැනි ව්‍යූහයක් ඇති පක්ෂයක් වනු දැකීම කැමැති බවද පවසා ඇති බැසිල් රජජපක්ෂ මහතා තමන් ට මෙම කලාපයේ සිත් ගන්නා සුළු පක්ෂ ව්‍යූහ එම පක්ෂ දෙක බවද සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබුණි.

Exit mobile version