“පොලිසිය ඉන්නේ මන්ත්‍රීලාගේ බෑග් කරගහන්න නෙවෙයි”

චමල් රාජපක්ෂ කියයි

දැනට පොලිස් නිලධාරීන් දෙදෛනාට අමතරව කිසිම අමතර පොලිස් නිළධාරියෙක් මන්ත්‍රී ආරක්ෂාවට ලබා නොදෙන බවත් පොලිස් නිළධාරීන් සිටින්නේ පොලිස් රාජකාරියට මිස මන්ත්‍රීවරුන්ගේ ෆයිල් හෝ බෑග් ඔසවාගෙන යාමට නොවන බවත් අභ්‍යන්තර ආරක්ෂාව භාර රාජ්‍ය ඇමැති සහ වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබා දී තිබූ පොලිසියේ නිළධාරීන් හතර දෙනා දෙදෙනෙකු දක්වා අඩුකර ඇති බැවින් යළි එම ආරක්ෂාව ලබා දෙන ලෙස බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අභ්‍යන්තර ආරක්ෂාව භාර රාජ්‍ය ඇමැති ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ දී ඔහු මේ ප්‍රකාශය කළේය.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කීවේ නිතර කුඩු සහ පාතාලයට එරෙහිව කතා කරන තමා වැනි මන්ත්‍රීවරුන්ගෙ ආරක්ෂාව අඩු කිරීම මන්ත්‍රීවරුන් 225 ටම කල තර්ජනයක් බවය.


එහිදී චමල් රාජපක්ෂ ඇමැතිවරයා කීවේ රාජකාරී කටයුතුවලට පොලිසීයේ සිටින්නේ අසූපන් දහසක් පමණක් බවද ඉන් තිස් අටදහසක් මන්ත්‍රී ආරක්ෂාවට යොදවා ඇති බවත්ය. මන්ත්‍රීවරුන් පොලිසියේ ආරක්ෂාව ඉල්ලා සිටින්නේ මහජනතාව කෙරෙහි විශ්වාසයක් නොමැති නිසා බව ඔහු වැඩිදුරටත් කීවේය.

“අපි මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ මුලු රටටම ආරක්ෂාව දෙන්නම්. අද සමහර පොලිස් කොට්ඨාසවල ආරක්ෂක රාජකාරී කරන්න පොලිස් නිළධාරීන් නැහැ. දැන් අවශ්‍ය මන්ත්‍රීවරුන්ට පොලිස් නිළධාරීන් දෙන්නද නැත්නම් මහජනතාවගේ ආරක්ෂාව සැලසීමද. ජනතාවගේ ආරක්ෂාව වටින්නේ නැද්ද. එහෙමනම් අලුතින් බඳවාගත යුතුයි”

තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා –
“හිටපු මහ ඇමැතිවරුන්ට තනතුරු අහිමිව තිබියදීත් පොලිසියේ හය දෙනෙක්, හත් දෙනෙක් ආරක්ෂාවට යොදවා තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුන්වල සිටින හිටපු ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ටත් පොලිසියේ හය දෙනෙක්, හත් දෙනෙක් ආරක්ෂාවට ලබා දී තිබෙනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“හිටපු අගමැතිවරයාට පොලිසියේ දෙසියක් දෙනවා. ඒත් විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාව අඩුකරන්න නියෝග ඇවිත්. අපි පොලිසියේ හතර දෙනෙකුගේ ආරක්ෂාවට පුරුදුවී හිටියා. දැන දෙදෙනෙක් දක්වා අඩු කරලා.මේක කොතරම් සාධාරණද?“

Exit mobile version