මහනුවර ඇසල පෙරහරේ දෙවන කුඹල් පෙරහර පැවති ඊයේ (22) රාත්‍රියේ වීදී සංචාරය කරමින් තිබිය දී හදිසියේම කුලප්පු වී පෙරහර මාර්ගයේ ඉදිරියට දිව ගොස් තිබුණේ පැල්මඩුල්ල රජමහා විහාරයේ චූලා නැමැති අලියාය.
කතරගම දේවාලයේ දේවාභරණ වැඩම වූ ඇතු සමඟ දෑලේ ගිය මෙම අලියා හදිසියේ බියවීමත් සමඟ මෙලෙස දිවයන්නට ඇතැයි හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ලේකම් දම්සිරි කරුණාරත්න පවසයි.
කතරගම දේවල පෙරහරේ ගමන් ගත් පැල්මඩුල්ල රාජමහා විහාරයේ චූලා නැමැති අලියා කුලප්පු වී පෙරහර මාර්ගයේ ඉදිරියට දිව ඒමත් සමඟ ඊට ඉදිරියෙන් ගමන් ගත් විෂ්ණු දේවාල පෙරහරේ ගමන් ගත් ඇතුන් දෙදෙනෙකු කලබල වී වැව් බැම්ම දෙසට දිව යාම නිසා වැව අද්දර පෙරහර නරඹමින් සිටි ජනතාව නොසන්සුන් වූහ.
චූලා අලියා අද 23 දින තුන්වෙනි කුඹල් පෙරහරේ ගමන් කරන්නේද යන්න සාකච්ඡා කරමින් සිටින බවද මේ වන විට අලියා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවද හෙතෙම කියා සිටියේය.
පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන් මෙලෙස කුලප්පු වන්නේ දිවා කාලයේ ඔවුන්ට ඉතා හොඳ තත්ත්වයේ කෑම බීම සහ විවේකය නොලැබෙන බැවින් බව සත්ත්ව හිංසන පිටුදැකීමේ සංවිධාන පවසති.
එම ප්‍රකාශ සම්බන්ධයෙන් දම්සිරි කරුණාරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
අතීතයේ පෙරහර පවත්වන දින 10 තුළ අලි ඇතුන් ලේවැල්ලෙන් මහවැලි ගඟට හෝ දොඩම්වල කටුගස්තොට මාර්ගයේ අලි නාවන (elephant bath) පෙදෙසේ මහවැලි ගඟට රැගෙන යාමක් සිදු කළ ද මේ වන විට එම ස්ථාන සියල්ල අලි නෑ වීමට සුදුසු ස්ථාන නොවන බවට හඳුනාගෙන තිබෙනවා.
මේ හේතූන් මත සතර මහා දේවාලවල අලි ඇතුන් නහවනු ලබන්නේ බවුසරවලින් ගෙන්වන ලද වතුර බට මගින්. මාලිගාවේ ඇත් පන්තියට නෑමට විශාල ජල ටැංකියක් තිබෙනවා. සතර මහා දේවාලවල අලින්ට කෙලෙසින් හෝ නෑ මට අවස්ථාව සලසලා තිබෙනවා. සතුත් සමග ගනුදෙනු කිරීමේදී ඒ සතුන්ගේ පහසුකම් මගහැර තබන්න බැහැ . අනෙක දළදා සමිදුන්ගේ පෙරහර පූජාවට පැමිණි මේ සතුන් නොසලකා ඉන්න තරම් අලි ඇතුන් සමඟ වැඩ කරන කිසිවෙක් හිතන්නේ නැති බව මට විශ්වාසයි.