පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ ඉල්ලීම පොලිස්පති පැහැර හරී

කුරුණෑගල ඓතිහාසික අපරාධය කළ චූදිත අපරාධකරුවන් තවමත් නිදැල්ලේ....

පොලිස් පැමිණිලි දෙකක් සටහන්ව තිබියදී  රටේ වලංගු නීතියත් උල්ලංඝණය කරමින්  කුරුණෑගල ඓතිහාසික පුරාවිද්‍යා ස්මාරකය   කඩා බිඳ දමූ චූදිතයන් අත්අඩංගුවට ගන්නා ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම මේ වනවිටත් ක්‍රියාත්මක වී නැතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල නගරාධිපතිගේ මෙහෙයවීමෙන් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මෙම ගොඩනැගිල්ල කඩා දමන්නේ  ඊයේ ( 16) එහි පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබිය දීය.

මීට දින හතරකට පෙර  මෙම ස්ථානයේ පුරාණ නටබුන් සහිත ගල් පුවරු කිහිපයක් මතුවීමත් සමග නිසි පුරාවිද්‍යා අධ්‍යයනයක් කර සංරක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවය සලකා ස්ථානය අසල    නවතම සංවර්ධන කටයුතු නවත්වන ලෙස ඉල්ලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුරුණෑගල පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර තිබිණි.


ඊට පෙර අවස්ථාවකත් මෙම ස්ථානය විනාශ කිරීමට කරන උත්සාහය වැළැක්වීමට පුරාවිද්‍යා නිලධාරීහු කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් කර තිබුණහ. සංරක්ෂණ කටයුත්තක් සැලසුම් කර තිබියදීත්, පොලිස් පැමිණිලි දෙකක් සටහන්ව තිබියදීත් තමන්ට මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවසර ලැබුණු බව පවසා කුරුණැගල නගරාධිපතිවරයා මෙම පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ල කඩා බිඳ දමන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොදන්වමිනි.

මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම  කුරුණෑගල නගරාධිපතිවරයාත් පුරාවිද්‍යා ආඥා පනතින් පෙන්වන රටේ වලංගු නීතිය උල්ලංඝණය කරමින් කළ මේ විනාශය බරපතල අපරාධයක් බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළේ   සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. මේ මොහොත වනතුරුත් ක්‍රියාත්මකව නැත්තේ ඒ ඉල්ලීමය.

යටත් විජිත යුගයේ කුරුණෑගල නගරය නැවත සංවර්ධනය වන්නේ පුරාණ කුරුණෑගල රාජධානියේ පැවති නටබුන් ඇසුරෙහිය. කුරුණෑගල කච්චේරි ගොඩනැගිලල, උසාවිය සංකීර්ණය මෙම සිද්ධිය වූ හෝටලය පවත්වාගෙන ගිය බිම ඒ නටබුන්වල ශේෂයන් පැතිරුණු තැන්ය.

සිද්ධිය වූ පුරාණ ගොඩනැගිල්ලෙහි නාගරික සංවර්ධන අධිකාරිය විසින් හෝටලයක් පවත්වාගෙන යමින් තිබිණි. මෙම ගොඩනැගිල්ල කඩා දැමෙන අවස්ථාව වනවිට එය පැවතියේ පුරාණ කුරුණෑගල රාජධානියේ ගොඩනැගිල්ලක පාදම මත ඉදි කළ පේකඩ සහිත දැව මුවා ඉදිකිරීමක් ලෙසය.

මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර නැතත් පුරාවිද්‍යා ආඥා පනත යටතේ වර්ෂ 1815 මාර්තු 2කට කලින් ඉදිකළ සියලුම ස්මාරකවලට නීතිමය ආරවණයක් සැපයෙන හෙයින් පාදමට කළ හානිය මත පිහිටා මේ සම්බන්ධව නෛතික ක්‍රියාවලියකට යෑමේ ඉඩකඩ ඇති බව පුරාවිද්‍යා ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙැවනි අපරාධවලට සමාජය පෙළඹෙන්නේ පසුගිය වසර පහ පුරා කිසිම පුරාවිද්‍යා ස්මාරකයක් ගැසට් කර නැති නිසා බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Exit mobile version